Tuesday, November 29, 2016

Walk for Sight මතක සටහන් (7 වෙනි කොටස)

7. දෙනෙතට එළියක් - දයාබරත්වයේ පාගමන : සිව්වෙනි දිනය මහඔය සිට පදියතලාව තෙක්...




පෙර කොටස් :
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-1.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-2.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-3.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-4.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-5.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-6.html

දිනය : 2015, නොවැම්බර් 29.
ගමන් මග : මහඔය සිට පදියතලාව

මහඔය නගරය පහුකරගෙන අපි ඉස්සරහට ඇදෙන්න පටන් ගත්තේ වෙනදට වඩා පොඩ්ඩක් ප්‍රමාද වෙලා. ඒ වෙනකොට උදේ 6 පහු වෙලා උනත් වැඩි එළියක් තිබුනේ නම් නෑ. ඉරිදා දවසක් නිසා නගරය පාළු ගතියක් තිබ්බේ. ඉක්මනින් ම නගරය පහු කරලා අපි ප්‍රධාන මාර්ගය දිගේ ඉස්සරහට ගමන් කරා 






අපේ ගමනට සහය වෙන්න එදිනෙදා පහු කරන ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් පිරිස් සූදානම් කරලා තිබුනා. ලොකු පිරිසක් නෙමෙයි, 10 දෙනෙක් විතර අපේ සහයට, විශේෂයෙන්ම ආධාර මුදල් එකතු කරන වැඩේට සහයට ආව. ගමේ ජනතාව ඒ අයව හඳුනන නිසා අපේ පණිවිඩය ජනතාව අතරට ගෙනියන්න මේ ක්‍රමය පහසුවක් උනා. මහඔය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අපේ ගමනේ අරමුණු ගැන හඬ පටයක් පටිගත කරලා පූර්ව ප්‍රචාරක රථයක් සමග එවාඅ තිබ්බ. ඒ පණිවිඩය ඉතා පැහැදිලි සහ කෙටි එකක් වුන නිසා අපේ අරමුණු අවට ජනතාවට සන්නිවේදනය කරන්න ලොකු පහසුවක් උනා. එතන ඉඳගෙන දිගටම වගේ අපි ඒ හඬපටය පාවිච්චි කරේ ඒ තරම්ම හොඳ එකක් වුන නිසයි.

තවම ගොඩක් උදේ වුනත් ප්‍රචාරක රථයේ නිවේදනයත් එක්ක පාර දෙපැත්තේ ගෙවල්වල ජනතාව බොහෝ දෙනා අපිව මුණගැහෙන්න ආව. අපේ අරමුණ වුන ජංගම අක්ෂි ශල්‍යාගාරය ගැන කිව්වම ඒ මිනිස්සුන්ගේ හිතේ ඇතිවුන සතුට සහ බලාපොරොත්තුව දැක්කම අපිට තේරුණා මේ වැඩේ හරියට කරගන්න පුළුවන් වුනොත් රටේ මොන තරම් ලොකු අවශ්‍යතාවයක් සපුරන්න පුළුවන් වෙයිද කියලා.




ඒ ප්‍රදේශයේ ජනතාවගෙන් ලැබුනේ ඉතා විශාල සහයෝගයක්. හැම කෙනෙක්ම හැකි උපරිමයෙන් මුදල් ආධාර කරා. ඒ විතරක් නෙමෙයි හැමෝම ලොකු උනන්දුවකින් අපේ ගමන ගැන විස්තර ඇහුවේ. ඒ විතරක් නෙමෙයි හැම කෙනාම අපි කාල බීලද ඉන්නේ කියන එක ඇහුවා විතරක් නෙමෙයි අපිට කෑම බීම පවා දෙන්න ඉදිරිපත් උනා. ගෙවල් වලින් විතරක් නෙමෙයි පාර දෙපැත්තේ කඩවල විකුනන්න තිබුන කෑම බීම, පලතුරු එහෙම අපිට දුන්නේ කිසිම ලොබකමක් නැතුව. සමහර තැන්වලදී ඒ අයගේ හිත නොරිදෙන්න ප්‍රතික්ෂේප කරාට සමහර තැන්වලදී පිලිනොගෙනම බැරි උනා. ඒ මිනිස්සුන්ගේ හර්දයාංගම බව අපිට ලොකු ශක්තියක් උනා.















මේ වෙනකොට කට්ටිය එකිනෙකා කණ්ඩායමේ ගමන් වේගය සහ ක්‍රමය හොඳට තේරුම් අරගෙන. මීට දවස් තුනකට කලින් ආගන්තුකයෝ වුන පිරිසක් ද කියල හිතාගන්න බැරි තරමට කට්ටිය අතරේ ලොකු බැඳීමක් ඇති වෙලා. සාමාන්‍යයෙන් කණ්ඩායමේ ඉස්සරහින්ම යන්නේ OLS තමයි. අපිට වඩා ගොඩක් ඉස්සරහින් තමයි එයා යන්නේ. ඊට පස්සේ චාමර අයියත් සෑහෙන වේගෙන ඇවිදිනවා. මහීල් අයියා, චලන, කැමී, කලීඩ්, මම ඊට පිටිපස්සෙන් යැවෙන්නේ. පිරිස් මුණ ගැහිලා අපේ ගමන ගැන විතර කරනන් නැවතුනාම කට්ටිය එහා මෙහා වෙනවා. නමුත් පොදුවේ පිළිවෙල ඕක තමයි.





අපේ කණ්ඩායමේ කලීඩ් ගැන නම් නොකියාම බෑ. ඇස් දෙකම නොපෙනෙන කලීඩ් ව ප්‍රවේශමෙන් මේ තරම් දුරක් රැගෙන යන්නේ කොහොමද කියන එක ගැන ගමන පටන් ගන්නකොට අපිට කිසිම අදහසක් තිබුනේ නෑ. එක අපිට ලොකු අභියෝගයක් වුනා. නමුත් කලීඩ් නම් ඒ ගැන බොහොම සැහැල්ලුවෙන් සහ ලොකු ආත්ම විශ්වාසයකින් හිටියේ. කලීඩ් කිව්වේ එයාට එයාගේ වැඩ ඔක්කොම තනියෙම කරගන්න පුළුවන්. නාන්න, වැසිකිලියට යනකොට විතරක් ඒ තැනට එක්කගෙන යන්න කියල. ගමන පටන්ගෙන පලවෙනි දවසෙම අපි කලීඩ් ගැන අවතක්සේරු කරපු බව තේරුණා. අපිටත් වඩා හොඳින් තමන්ගේ වැඩ ටික කරගන්න විතරක් නෙමෙයි, පාරේ යන එනකොට අපිටත් වඩා ප්‍රවේසමෙන් ගියෙත් කලීඩ්. අපිට කරන්න තිබුන එකම දේ තමයි යනකොට කලීඩ් ට කාගේ හරි උරහිසකට අත තියාගන් දෙන එක. ඊට පස්සේ අපි යන වේගෙට එයත් එනවා. මේ රාජකාරිය ගොඩක් වෙලාවට බාර ගත්තේ චාමර අයියා සහ කැමී. කලීඩ් ට අපිව දාල වේගෙන් යන්න ඕනේ වෙනකොට එයා චාමර අයියා ලඟට යනවා. අනිත් වෙලාවට කැමී එක්ක යනව.






පදියතලාවට එනකොට හොඳටම කළු කරලා වහින්න ලෑස්තිය. පදියතලාවට ඇවිල්ල අපි කෙලින්ම ගියේ රෝහලට. පාගමනට සමගාමීව අපේ ගමන් මග දිගට සංවිධානය කරලා තිබ්බ අක්ෂි සායන වලින් එකක් එදා එතන පැවැත්වුනා. අපිත් එතනට ගිහින් ඊට පස්සේ නැවත අපි රාත්‍රී නවාතැන් ගන්න තැනට යන්න පිටත් උනා. එදා රෑ අපි නවාතැන් ගත්තේ පදියතලාව නගරයට ටිකක් එහායින් තිබුන 'පදියදොර' පුරාණ විහාරයේ. ප්‍රධාන පාරේ ඉඳල තව ටිකක් ඇතුලට යන් ඕනේ. හැබැයි හරිම ලස්සන නිස්කලංක තැනක්. පුරාණ විහාරයක් කිව්වට එතන තිබ්බේ පුරාණ බෝධියක්. ධර්ම ශාලාව ඇරෙන්න එතන පන්සලක් තිබ්බේ නෑ.






අපි නවාතැන් ගත්තු තැන්වලින් දුෂ්කරම තැනක් වුනේ එතැන තමයි. පහසුකම් අවම මට්ටමේ තමයි තිබ්බේ. ඒ මදිවට එදා හොඳටම වැස්ස. ඒ වෙනකොට කට්ටිය ගමනට පදම් වේගෙන එනවා. සමහරුන්ගේ අන්ගවල් ඒ වෙනකොට හිරි වැටිලා අමාරු දැනෙන්නේ නැති ගානට. සමහරුන්ගේ අබාධ වැඩි වෙලා ඇවිද ගන්න බැරි තරමට. සමහරු කිව්වට ඉතින් අමිලට තමයි එහෙම වුනේ. එදා රෑ වෙනකොට අමිල පෙන්ගුයින් කෙනෙක් වගේ පන්සලේ බණ මඩුවේ එහා මෙහා ඇවිදින එක අපිට හොඳ විනෝදයක් වුනා...


එදා රෑ නිදාගන්න යනකොට අපි තීරණය කරා ගොරවන කට්ටියව එක පැත්තකට දාන්න ඕනේ කියල. නැත්තන් එයාල මැදට වෙලා ගොරවන්න ගන්න නිසා. චාමර අයියගෙන් එහෙම කාටවත් කිසි කරදරයක් නෑ. උදේට නැගිට්ටම හිතෙන්නේ රෑ තිස්සේ ස්ටාට් කරලා තිබ්බ ලේලන්ඩ් බස් එකක් ළඟ නිදාගත්තා වගේ කියල විතරයි.

ඔන්න ඔය විදියට හතරවෙනි දවසත් ගෙවිලා ගියා.

මතු සම්බන්ධයි...

No comments:

Post a Comment