Friday, November 25, 2016

Walk for Sight මතක සටහන් (4 වෙනි කොටස)

4. දෙනෙතට එළියක් - දයාබරත්වයේ පාගමන : ගමනට මුල පිරීම

මීට පෙර කොටස් :
http://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-1.html
http://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-2.html
http://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-3.html


දිනය 2015 අවුරුද්දේ නොවැම්බර් 26. හරියට මීට අවුරුද්දකට ඉස්සර. ලංකාවේ නැගෙනහිර ඉමේ මඩකළපුවේ කල්ලඩි වෙරළ තීරයට ඉර පායනකන් අපි බලාගෙන ඉන්නවා. උදේ පාන්දර නැගිටලා තම තමන්ගේ ගමන් මළු සූදානම් කරලා හැමෝම තිබුන වාහන දෙක තුනේ එල්ලිලා වෙරළට එනකොට අහස යාන්තම් එලිය වෙන්න පටන් අරගෙනවත් නෑ. අපේ සූදානම ඉර පායාගෙන එනකොට වෙරළ ඉමෙන් ගමන ආරම්භ කරන්න. හැමෝගෙම හිතේ බලාපොරොත්තු ගොඩක්. නඩේ ගුරා ඇරෙන්න ගමනට සම්බන්ධ කිසිම කෙනෙක් මීට කලින් මේ වගේ දුරක් පයින් ගිහින් අත්දැකීම් තියෙන අය නෙමෙයි. හරියටම කියනවා නම් මුළු දුරම පයින් යන්න ඉදිරිපත් වුන 4 දෙනාම සංචාරයට පුරුදු වුන අයවත් නෙමෙයි. හිතේ හයියයි, බලාපොරොත්තු ගොන්නකුයි එක්ක අලුත් අත්දැකීමක්, තවමත් නොදන්නා අභියෝග රාශියකට මුහුණ දෙන්න බලාගෙන කට්ටිය සූදානමින් ඉන්නවා.

මම, අමිල සහ කැමී කියන තුන් දෙනාම කැලේ කොළේ කරක් ගහල පුරුදු අය වුනාට අපි යන්න හිතාගෙන ඉන්නේ ගමනින් කොටසයි. කැමීත් මමත් නිවාඩු අරගෙන තිබ්බේ දවස් 5 කට. සති අන්තයත් එක්ක අපිට දවස් 7ක් තියෙනවා. උඩදුම්බර ට වෙනකන් ඇවිදින්න තමයි අපි දෙන්නගේ බලාපොරොත්තුව. අමිල මහියංගනයට වෙනකන් ඇවිදින්න හිතාගෙන ඇවිල්ල තිබ්බේ.

උදේ 5.45 විතර වෙනකොට අහස පාට වේගෙන එන්න පටන් ගත්තා. වෙලාව එනකන් බලාගෙන හිටිය ඔක්කොමල්ල කලබල වෙලා. මාධ්‍ය කණ්ඩායම එයාලගේ වැඩ පටන්ගෙන. ඉරපායාගෙන එනකොටම මුළු දුරම ගමන් කරන්න ඉන්න 4 දෙනා එකට අත්වැල් අල්ලාගෙන ගමන පටන් ගත්ත දර්ශනය ඇත්තටම බොහොම මනස්කාන්ත එකක් වුනා. 
ආරම්භය...

කල්ලඩි වෙරළින් පටන්ගෙන අපි ගියේ මඩකළපුව නගරය දිහාවට. සුප්‍රසිද්ද කල්ලඩි පාලම එහෙම පහු කරලා නගරයට යන අතරමගදී අපි කලින් දවසේ නවාතැන් ගත්ත තැනට ගිහින් උදේ කෑම කාල අපි ගියේ නිල සමාරම්භක උත්සවය සංවිධානය කරලා තිබ්බ මඩකලපුව "ගාන්ධි පිට්ටනිය" ට. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමාගේ ප්‍රධානත්වයෙන් තිබ්බ උත්සවයට මඩකළපුව ප්‍රදේශයේ සෞඛ්‍ය සේවාවලට අදාළ අය ගොඩක් ඇවිල්ල හිටියේ. 
කල්ලඩි පාලම

Add caption




පොඩි උත්සවයකින් පස්සේ මේ හැමෝම අපේ පෙරගමන්කරුවන් 4 දෙනා මූලික කරගෙන ගමන පටන්ගත්තා. වැඩේට සහභාගී වෙලා හිටිය සුව සේවකයින්ගෙන් ලැබුනේ ලොකු සහයෝගයක්. කැට අරගෙන වෙළඳසැල්, නිවාස වලට ගිහින්, පාරේ යන එන බස් වලට නැගලා ආධාර එකතු කරපු ඔවුන් එතනින් නවතින්නේ නැතුව පාරේ යන එන වාහන පවා නවත්තලා ලොකු උනන්දුවකින් සහෝයෝගය දුන්න. අපි හිතුවටත් වඩා මුදලක් එකතු කරලා දෙන්න මේ කට්ටිය සමත් උනා. 








ගිණිගහන අව්වේ මඩකළපුවේ තාර පාරක් දිගේ ඇවිදිනවා කියන එක හිතුවට වඩා සෑහෙන අමාරු වැඩක්. කඳුවල, කැලෑවල ඇවිදිනවා වගේ නෙමෙයි. කාත්තන්කුඩි සීමාවට එනකොට හොඳ ගණන්. අව්වට සෙරෙප්පු දෙකේ පටි රත්වෙලා කකුල් කැපිලා. ප්ලාස්ටර් අලව අලවා තමයි ආවේ. 





කාත්තන්කුඩි වලදී උණුසුම් පිළිගැනීමක් ලැබුණා. කට්ටියටම සංග්‍රහයක් ලැස්ති කරලා විතරක් නෙමෙයි, ව්‍යාපාරිකයෝ එකතු කරලා දීපු ලොකු ආධාර මුදලකුත් ලැබුණා.

කාත්තන්කුඩි පහුකරාට පස්සේ ජනාකීර්ණ ගතිය අඩු වුන නිසා ටිකක් නිදහසේ ඇවිදින්න ලැබුන එක ලොකු සැහැල්ලුවක් උනා. මන්මුනේ ට තරමක් ආසන්නයේ පාසලක දී දවල් කෑමට අපි නවතිනකොට 2ත් පහු වෙලා. මෙච්චර වෙලා අපි එක්ක ආපු මඩකළපුව සුව සේවා කණ්ඩායම් අපිට සමුදීලා ආපහු ගියා. 

කෑම ටිකක් කාල, පොඩි විවේකයක් අරගෙන ඉතුරු ටික යන්න දැන් කට්ටිය ලෑස්තියි. ඒත් මහීල් අයිය යන්න පාරට බැහැල ආපහු ඉස්කෝලේ ඇතුලට ගිහින් මොනවදෝ හොයනවා. අතේ තිබ්බ walking stick එක නැහැලු. අපරාදේ Internet ඒකෙ reviews බලලා බලලා ගත්තු walking stick එක. වරුවක්වත් පාවිච්චි කරේ නෑ. ආරම්භය නියමයි. මෙහෙම ගිහින් කොළඹට එනකොට මහීල් අයියා මොන මොනවා නැති කරගෙන තියේවිද දන්නේ නෑ...

එයා ඉස්කෝලේ කණපිට පෙරලලා walking stick එක හොයනකන් මමයි, කැමී යි, අමිලයි, චාමර අයියයි, කලීඩ් එක්ක ඊට ටිකක් එහායින් හිටපු මුස්ලිම් ළමයි වගයක් එක්ක පොඩි කතාවක් දාගෙන හිටියා. කතාවක් කියල කිව්වට ඉතින් අපි කියන දේ එයාලට තේරෙන්නේ නෑ, එයාල කියන දේ අපිට තේරෙන්නේ නෑ. ඒ උනාට ඉහතින් කොහොම හරි කතා කරා කියමුකෝ. අපි මේ කොළඹ යන ගමන් කියන එක කොහොම හරි එයාලට කිව්වා කියලත් කියමුකෝ. ඊට පස්සේ එතන හිටපු එක ළමයෙක් අමාරුවෙන් වචන ගැටගහගෙන  "කොළඹ යන්නේ අර පැත්තෙන්" කියල මඩකළපුව පැත්ත පෙන්නුවා. අපි කිව්වා නෑ අපි යන්නේ මේ පැත්තෙන් කියල (ඇත්තටම ඒ වෙනකොට අපි ගමන් කරකර හිටියේ මඩකළපුවෙන් පහළට). ඊට පස්සේ ඒ ළමයා ආයෙමත් කිව්වා "මේ පැත්තෙන් බස් යන්නේ නෑ" කියල. ඉතින් අපි කිව්වා නෑ අපි පයින් යන්නේ කියලා. එක අහලා උන් ටික බඩවල් අල්ලාගෙන හිනා උන විදියෙන්ම තේරුණා අපිට හොඳටම පිස්සු කියල හිතපු බව.

කොහොම හරි මහීල් අයියගේ walking stick එකත් නැති කරගෙන අපි මන්මුනේ ට ආවේ තව කිලෝමීටර් කීපයක් ගෙවාගෙන. අන්තිම හරිය බොහොම නිස්කලංකව ආවා. ඇවිල්ල කලපුවක් අයිනේ තිබ්බ පොඩි කෝවිලකට ආවා. මෙතන තමයි අපේ ගමනේ පලවෙනි රාත්‍රී නවාතැන්පොළ. එතනට එනකන් අපිත් එක්ක ඇවිදගෙන ආපු වෛද්‍ය පාලිත මහීපාල මහත්තය පහුව දා උදෙන්ම එන්න බලාගෙන ආපහු ගියා.
මන්මුනේ බලා... චාමර අයියා සහ කලීඩ්.

රෑ නිදාගන්න කූඩාරම් එහෙම අටවලා, නාගෙන ඉවර වෙනකොට රෑ කෑම හම්බ උනා. රසම රස වම්බටු කරියක් එක්ක ඉඩ්ලි. එහෙමත් රස කෑමක්... බඩගිනිත් නෑ කියල කියපු කට්ටිය තව නැද්ද කියල අහ අහා කෑවේ. 
රාත්‍රී නවාතැන්පොළ

මේ ගමනේදී අපිට කෑම බීම දෙන එක ඒ ඒ ප්‍රදේශවල කට්ටිය බාර අරගෙන තිබ්බේ. නමුත් ඉතින් අපිට කන්න කැමති දේවල් ඉල්ලලා ඒ මිනිස්සුන්ට කරදර කරන්න බැරි නිසා අපි හැමෝම පොදු එකඟතාවයකට ආවා. ඒ තමයි මේ ගමන ඉවරවෙනකන් අපි එළවලු කෑමවලට විතරක් සීමා වෙමු කියලා. ඒ විතරක් නෙමෙයි ගමන ඉවර වෙනකන් දුම්පානය, මත්පැන් වගේ දේවල් වලින් වැළකිලා ඉන්නත් ඒවාට පුරුදු වෙලා හිටිය හැම කෙනෙක්ම කැමැත්තෙන්ම එකඟ වුණා. 

රෑ වෙනකන් විනෝදෙන් කෑගහ ගහ ඉඳල කට්ටිය නිදාගන්න යනකොට 10 ත් පහු වෙලා. කෝවිලේ විවෘත කොටසේ කූඩාරම් ටික අටවාගෙන හිටපු නිසා හොඳට හුලං පාර එනවා. වැටුනා විතරයි මතක, එහෙම්ම නින්ද ගියා...
මතු සම්බන්ධයි...

4 comments:

  1. Thank You Kasun for starting on the write-up...
    am reliving each and every moment...
    Camy

    ReplyDelete
  2. Why don't the others add their memories at least in the blog comments :) I am sure there are so many those are not mentioned in the write up because of Kasun's decency :) please not tons of mud. Couple of grams would be okay :D Need stories of others as well, not only about my walking stick.
    There was another incident. But can't tell since I was the bad guy there as well. Incident happened in front of the military camp in the midnight.... :D

    ReplyDelete
  3. ha ha the incident at the camp.... too embarrassing. let's keep it a secret :D

    ReplyDelete
  4. Best casinos with a gambling app (iOS & Android)
    Best online 리턴벳 casinos with a gambling bwin app 스포츠분석 for 인천 휴게텔 mobile, read reviews, 스마일 토토 and discover exclusive deals on slots, blackjack and roulette games. Best Casino Apps

    ReplyDelete