Wednesday, November 30, 2016

Walk for Sight මතක සටහන් (8 වෙනි කොටස)

8. දෙනෙතට එළියක් - දයාබරත්වයේ පාගමන : පස්වෙනි දිනටත් අපි ගමනේ...

පසුගිය කොටස් :
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-1.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-2.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-3.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-4.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-5.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-6.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-7.html

දිනය : 2015, නොවැම්බර් 30.
ගමන් මග : පදියතලාව සිට දඹාන

රෑ තිස්සේ නොකඩවා වැටුන අනෝරා වැස්සයි, චාමර අයියගේ කෙලවරක් නැති ගෙරවිල්ලයි අස්සේ අපි කොහොම හරි අපේ හතරවෙනි රාත්‍රී නාවතන්පොළ වුන පදියතලාවේ පදියදොර පුරාණ විහාරයේ රෑ එළි කරගත්තා. අපි උදේ අහරෙනකොටත් වැස්ස ඉවර නෑ. උදේ නැගිට්ට ගමන් අපිට ගැටළුවක්. වතුර නෑ. අපිට ගමනට සූදානම් වෙන එක දැන් ගැටළුවක්. කොහොම හරි එලිය වටෙනකොට වැස්ස අඩු කරපු නිසා අපි අහල පහළ ගෙවල් දෙකකට ගිහින් ගමනට සූදානම් වුනා.

අපි නවාතැන් ගත්තු පදියදොර පන්සල හරිම ලස්සන තැනක්. බොහොම නිස්කලංක වටපිටාවක් තියෙන තපෝවනයක් වගේ සුන්දර තැනක්. එතන තිබ්බේ පුරාණ බෝධියක්. ඒ පැත්තේ අය එතනට කියන්නේ ශ්‍රී මහා බෝධිය කියල. දැනගත්තු විදියට ඒ බෝධිය ශ්‍රී මහා බෝධියේ දෙතිස් ඵලරුහ බෝධි අංකුර වලින් එකක් ලු.

පදියදොර පුරාණ බෝධිය

ප්‍රධාන පාරට යන ගමන් 

 එදා දවසේ අපේ ගමනාරම්භය වෙනදට වඩා ගොඩක් පරක්කු වුනා. මතක විදියට අපි පිටත් වෙනකොට උදේ 7 විතර වෙලා. හැමදාම වගේ අපි ගමන් ආරම්භ කරන වෙලාවට එන අපේ හමුදා ගිලන් රථයේ සහෝදරවරු ටිකට එදා ගොඩක් වෙලා අපි එනකන් බලාගෙන ඉන්න වුනා. ඒ වෙනකන් සපයලා තිබුන තරමක් පරණ ගිලන් රථය වෙනුවට අලුත් ගිලන් රථයක් කොළඹින් එවලා තිබුනේ එදා වගෙයි මට මතක.
චාමර අයියා හැමදාම ලොතරැයි ටිකට් ගත්තේ දිනුමක් ඇදුනොත් ඒ මුදල අරමුදලට යොදන්න හිතාගෙන

පදියතලාව පසුකරමින්...

පදියතලාවෙනි පිටත් වෙලා අපි ප්‍රධාන පාර දිගේ ඉස්සරහට ඇදුනා. ඒ දවස් වල පාර දෙපැත්තේම කුඹුරු කරන කාලේ. කුඹුරු හාන, වපුරන වගේම ලස්සන පැළ ගොයම තියෙන කුඹුරු යාවල මැද්දෙන් අපි පරිසරයේ ලස්සන වගේම අපේම සහෝදර ගැමි ජනතාවගේ උණුසුම් ප්‍රතිචාර අත්විඳිමින් දිගටම ගමනේ යෙදුනා.

කලින් දවසේ ඉතාම අසාධ්‍ය තත්වයෙන් හිටපු අමිල මෙන්න අද ඇවිදිනවා... ඇවිදිනවා කියන්නේ කිසිම අමාරුවක් නැතුව ඇවිදිනවා. මේ ප්‍රාතිහාර්ය මොකක්ද කියල අපිට හිතාගන්න බෑ. කොහොම හරි  අමිල අපේ ගිලන් රථයට ගොඩ වුනා කියල ආරංචි උනා. පස්සේ හොයල බැලුවම ගිලන් රථයේ කාර්යමණ්ඩලයේ අපේ නලින්ද ඇතුළු අපේ හමුදා සහෝදරයෝ ටික අමිලට ඇවිදින්න පුළුවන් වෙන විදියට ප්‍රතිකාරයක් කරලා.

අමිල නැවතත් ගමනේ


කැමී සහ කලීඩ්
 එදාත් අපිට මග දෙපස ජනතාවගෙන් සංග්‍රහ වලින් නම් අඩුවක් උනේ නෑ. ඊට අමතරව හමුදාවෙනුත් අපි ගැන දිගින් දිගටම හොයල බැලුව. එයාල නිසා අපිට වතුර වගේම මගදී කන්න බොන්න බිස්කට්, බීම වගේ දේවල් වලින් අඩුවක් වුනේ නෑ.

ඔය කන බොන දේවල් සම්බන්ධයෙන් ඉතින් රසකතා ගොඩකුත් තිබුනා. දැන් ඔය අපේ මහීල් අයියා එහෙම එයාගේ තඩි backpack එකත් පිටේ බැඳගෙන අපේ ගමනේ විස්තර පත්‍රිකා මිටියකුයි කැටේකුයි අතින් අරගෙන යනකොට වටපිටාවේ වෙන දේවල් ගැන වැඩි අවධානයක් නෑ. සාමාන්‍යයෙන් අපි යන ගමන් හම්බ වෙන අයට, පාර අයිනේ තියෙන කඩවල ඉන්න පිරිසට එහෙම විස්තර පත්‍රිකා බෙදල අපේ අරමුණු විස්තර කරලා ගියාට පස්සේ මහීල් අයියා නැවත ඒ පිරිසට ඒ විස්තරේම කියන්න පසුබට උනේ නෑ. සමහර වෙලාවට අපි විස්තරේ කියල එතනින් යන්නත් කලින් මහීල් අයියා ඇවිල්ල දෙවෙනි පාරට ඒ අයට විස්තර කරපු වෙලාවලුත් නොතිබ්බාම නෙමෙයි...  ඒත් ඉතින් ඔය මොනවා උනත් මහීල් අයියට හොරෙන් අපිට කෑමක් කන්න නම් ඉඩක් නෑ.
උදේ කෑම...

නිසංසලා නිසංසලේ උදේ කෑම කනවා...












අක්ෂි රෝග වෙදමහතාගෙන් ආධාරයක්...
 ඔහොම යන අතරේ තමයි අපි පාර අයිනේ තිබ්බ පොඩි රොටී කඩේකට කඩා වැදුනේ. පොල් රොටියක් කන්න තිබ්බ පෙරේතකම නිසාම ගියා මිසක් ඒ වෙනකොටත් අපේ දවල් කෑම කණ වෙලාවත් කිට්ටු වෙලා තිබ්බේ. කොහොම හරි ගිහින් කට්ටිය රොටී කන්න පටන් ගත්තා කියමුකෝ... මාරම රසයි. කන් දෙකෙන් දුම් පිටවෙන රසම රස, සැර ලුණු මිරිසකුත් එක්ක උණු උණුවේ රසම රස පොල් රොටී. රොටී එක දෙක වෙලා, දෙක තුන වෙලා, කට්ටිය කණ එක නවත්තන්නේ නෑ. කඩේ හිටපු අම්මාට අපි කණ වේගෙට රොටී හදන්න බෑ. මේක ඉවසගන්න බැරි උන කැමී නැගිටලා කුස්සියට ගිහින් රොටී හදන වැඩේට හවුල් වුනා. දැන් කැමී ගජරාමෙට රොටී පුච්චනවා, අපි ඒවාට වග කියනවා...
අපේ රොටී බාස් - කැමී...

රොටී දෙනකන් බලා ඉන්න අසරණ ජනතාව...


කොහොම හරි බඩ පැලෙන්න රොටී කාපු අපි දම්බානට කිට්ටු වෙනකොට හොඳටම වහින්න පටන් ගත්තා. එසේ මෙසේ වැස්සක් නෙමෙයි, ධාරානිපාත වැස්සක්. අපි වැස්සේම කොහොම හරි දඹාන ඉස්පිරිතාලෙට ඇවිල්ල දවල්ට කාල, රෝහලේ කාර්ය මණ්ඩලයත් එක්කම ඉදිරියට ගියා. ආදිවාසීන් කීප දෙනෙකුත් අපිත් එක්ක සම්බන්ධ උනා.



සායි සහ මහීල් අයියා



ඉස්පිරිතාලේ පෝලිමේ...
 අපි එදා රෑට නවතින්න හිටපු පන්සල තිබ්බේ දඹානේ ඉඳල කිලෝමීටර් කීපයක් ගියාට පස්සේ. ඒ කිට්ටුවට එනකොට වැස්ස හොඳටම අඩු වෙලා. එතැනදී හමුදාවෙන් අපිට රස්නෙන් කොත්තමල්ලි හදලා බොන්න දුන්න. හොඳට වැස්සේ තෙමිලා හිටපු නිසා එයින් කෝප්ප දෙක තුනක්ම බිව්වේ හීතල යන්න වගේම ලෙඩ උනොත් කියන බයටත් එක්කමයි.



කැමී





කැපවීම...





 අපි නවාතැන්පොළට එනකොට අපේ කණ්ඩායමට එකතු වෙන්න ආපු අලුත්ම සාමාජිකයෝ දෙන්න ඇවිල්ල හිටියා. ජාලිය අයියයි, හිරාන් අයියයි අපිට කලින් කොළඹදී මුණ ගැහිලා තිබුනට එයාල ගමනට සම්බන්ධ උනේ එදා තමයි. එයාල ඇවිල්ල තිබුන හිරාන් අයියගේ වෑන් එකේ පිටිපස්සේ දොර ඇරියම තමයි අපේ ඇස් උඩ ඉන්දවුනේ... වෑන් එක පිරෙන්න බඩු. කන බොන දේවල් ද, උයන පිහන ආම්පන්නද, නානාප්‍රකාර ආම්පන්න ද, හිතාගන්න බැරි බඩු ගොඩක්. හිරාන් අයිය ගෙදරම තිබ්බ බඩු ටික වෑන් එකට පටවාගෙන ඇවිල්ලද කොහෙද. ඒකෙ නැත්තේ මොනවද කියල හිතාගන්න බැරි උනා. එතන ඉඳල දවස් ටිකේ අපිට කිසිම අඩුපාඩුවක් තිබ්බේ නෑ. මොනවා හරි දෙයක් ඕනේ වෙනකොට වෑන් එකේ බලන්න විතරයි තිබ්බේ.

එදා අපිට රෑ කෑම සපයල දුන්නේ පන්සලේ දායක සභාවෙන්. රාජ බෝජනේ වගේ තමයි ඉතින්. හොඳට කාල ජාලිය අයියයි හිරාන් අයියයි එක්ක කයියක් දාගෙන ඉඳල අපේ ගමනේ පස්වෙනි දවස නිමාකරා...

ජාලිය අයියා, හිරාන් අයියා සහ සායි... 

මතු සම්බන්ධයි...

Tuesday, November 29, 2016

Walk for Sight මතක සටහන් (7 වෙනි කොටස)

7. දෙනෙතට එළියක් - දයාබරත්වයේ පාගමන : සිව්වෙනි දිනය මහඔය සිට පදියතලාව තෙක්...




පෙර කොටස් :
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-1.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-2.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-3.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-4.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-5.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-6.html

දිනය : 2015, නොවැම්බර් 29.
ගමන් මග : මහඔය සිට පදියතලාව

මහඔය නගරය පහුකරගෙන අපි ඉස්සරහට ඇදෙන්න පටන් ගත්තේ වෙනදට වඩා පොඩ්ඩක් ප්‍රමාද වෙලා. ඒ වෙනකොට උදේ 6 පහු වෙලා උනත් වැඩි එළියක් තිබුනේ නම් නෑ. ඉරිදා දවසක් නිසා නගරය පාළු ගතියක් තිබ්බේ. ඉක්මනින් ම නගරය පහු කරලා අපි ප්‍රධාන මාර්ගය දිගේ ඉස්සරහට ගමන් කරා 






අපේ ගමනට සහය වෙන්න එදිනෙදා පහු කරන ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් පිරිස් සූදානම් කරලා තිබුනා. ලොකු පිරිසක් නෙමෙයි, 10 දෙනෙක් විතර අපේ සහයට, විශේෂයෙන්ම ආධාර මුදල් එකතු කරන වැඩේට සහයට ආව. ගමේ ජනතාව ඒ අයව හඳුනන නිසා අපේ පණිවිඩය ජනතාව අතරට ගෙනියන්න මේ ක්‍රමය පහසුවක් උනා. මහඔය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අපේ ගමනේ අරමුණු ගැන හඬ පටයක් පටිගත කරලා පූර්ව ප්‍රචාරක රථයක් සමග එවාඅ තිබ්බ. ඒ පණිවිඩය ඉතා පැහැදිලි සහ කෙටි එකක් වුන නිසා අපේ අරමුණු අවට ජනතාවට සන්නිවේදනය කරන්න ලොකු පහසුවක් උනා. එතන ඉඳගෙන දිගටම වගේ අපි ඒ හඬපටය පාවිච්චි කරේ ඒ තරම්ම හොඳ එකක් වුන නිසයි.

තවම ගොඩක් උදේ වුනත් ප්‍රචාරක රථයේ නිවේදනයත් එක්ක පාර දෙපැත්තේ ගෙවල්වල ජනතාව බොහෝ දෙනා අපිව මුණගැහෙන්න ආව. අපේ අරමුණ වුන ජංගම අක්ෂි ශල්‍යාගාරය ගැන කිව්වම ඒ මිනිස්සුන්ගේ හිතේ ඇතිවුන සතුට සහ බලාපොරොත්තුව දැක්කම අපිට තේරුණා මේ වැඩේ හරියට කරගන්න පුළුවන් වුනොත් රටේ මොන තරම් ලොකු අවශ්‍යතාවයක් සපුරන්න පුළුවන් වෙයිද කියලා.




ඒ ප්‍රදේශයේ ජනතාවගෙන් ලැබුනේ ඉතා විශාල සහයෝගයක්. හැම කෙනෙක්ම හැකි උපරිමයෙන් මුදල් ආධාර කරා. ඒ විතරක් නෙමෙයි හැමෝම ලොකු උනන්දුවකින් අපේ ගමන ගැන විස්තර ඇහුවේ. ඒ විතරක් නෙමෙයි හැම කෙනාම අපි කාල බීලද ඉන්නේ කියන එක ඇහුවා විතරක් නෙමෙයි අපිට කෑම බීම පවා දෙන්න ඉදිරිපත් උනා. ගෙවල් වලින් විතරක් නෙමෙයි පාර දෙපැත්තේ කඩවල විකුනන්න තිබුන කෑම බීම, පලතුරු එහෙම අපිට දුන්නේ කිසිම ලොබකමක් නැතුව. සමහර තැන්වලදී ඒ අයගේ හිත නොරිදෙන්න ප්‍රතික්ෂේප කරාට සමහර තැන්වලදී පිලිනොගෙනම බැරි උනා. ඒ මිනිස්සුන්ගේ හර්දයාංගම බව අපිට ලොකු ශක්තියක් උනා.















මේ වෙනකොට කට්ටිය එකිනෙකා කණ්ඩායමේ ගමන් වේගය සහ ක්‍රමය හොඳට තේරුම් අරගෙන. මීට දවස් තුනකට කලින් ආගන්තුකයෝ වුන පිරිසක් ද කියල හිතාගන්න බැරි තරමට කට්ටිය අතරේ ලොකු බැඳීමක් ඇති වෙලා. සාමාන්‍යයෙන් කණ්ඩායමේ ඉස්සරහින්ම යන්නේ OLS තමයි. අපිට වඩා ගොඩක් ඉස්සරහින් තමයි එයා යන්නේ. ඊට පස්සේ චාමර අයියත් සෑහෙන වේගෙන ඇවිදිනවා. මහීල් අයියා, චලන, කැමී, කලීඩ්, මම ඊට පිටිපස්සෙන් යැවෙන්නේ. පිරිස් මුණ ගැහිලා අපේ ගමන ගැන විතර කරනන් නැවතුනාම කට්ටිය එහා මෙහා වෙනවා. නමුත් පොදුවේ පිළිවෙල ඕක තමයි.





අපේ කණ්ඩායමේ කලීඩ් ගැන නම් නොකියාම බෑ. ඇස් දෙකම නොපෙනෙන කලීඩ් ව ප්‍රවේශමෙන් මේ තරම් දුරක් රැගෙන යන්නේ කොහොමද කියන එක ගැන ගමන පටන් ගන්නකොට අපිට කිසිම අදහසක් තිබුනේ නෑ. එක අපිට ලොකු අභියෝගයක් වුනා. නමුත් කලීඩ් නම් ඒ ගැන බොහොම සැහැල්ලුවෙන් සහ ලොකු ආත්ම විශ්වාසයකින් හිටියේ. කලීඩ් කිව්වේ එයාට එයාගේ වැඩ ඔක්කොම තනියෙම කරගන්න පුළුවන්. නාන්න, වැසිකිලියට යනකොට විතරක් ඒ තැනට එක්කගෙන යන්න කියල. ගමන පටන්ගෙන පලවෙනි දවසෙම අපි කලීඩ් ගැන අවතක්සේරු කරපු බව තේරුණා. අපිටත් වඩා හොඳින් තමන්ගේ වැඩ ටික කරගන්න විතරක් නෙමෙයි, පාරේ යන එනකොට අපිටත් වඩා ප්‍රවේසමෙන් ගියෙත් කලීඩ්. අපිට කරන්න තිබුන එකම දේ තමයි යනකොට කලීඩ් ට කාගේ හරි උරහිසකට අත තියාගන් දෙන එක. ඊට පස්සේ අපි යන වේගෙට එයත් එනවා. මේ රාජකාරිය ගොඩක් වෙලාවට බාර ගත්තේ චාමර අයියා සහ කැමී. කලීඩ් ට අපිව දාල වේගෙන් යන්න ඕනේ වෙනකොට එයා චාමර අයියා ලඟට යනවා. අනිත් වෙලාවට කැමී එක්ක යනව.






පදියතලාවට එනකොට හොඳටම කළු කරලා වහින්න ලෑස්තිය. පදියතලාවට ඇවිල්ල අපි කෙලින්ම ගියේ රෝහලට. පාගමනට සමගාමීව අපේ ගමන් මග දිගට සංවිධානය කරලා තිබ්බ අක්ෂි සායන වලින් එකක් එදා එතන පැවැත්වුනා. අපිත් එතනට ගිහින් ඊට පස්සේ නැවත අපි රාත්‍රී නවාතැන් ගන්න තැනට යන්න පිටත් උනා. එදා රෑ අපි නවාතැන් ගත්තේ පදියතලාව නගරයට ටිකක් එහායින් තිබුන 'පදියදොර' පුරාණ විහාරයේ. ප්‍රධාන පාරේ ඉඳල තව ටිකක් ඇතුලට යන් ඕනේ. හැබැයි හරිම ලස්සන නිස්කලංක තැනක්. පුරාණ විහාරයක් කිව්වට එතන තිබ්බේ පුරාණ බෝධියක්. ධර්ම ශාලාව ඇරෙන්න එතන පන්සලක් තිබ්බේ නෑ.






අපි නවාතැන් ගත්තු තැන්වලින් දුෂ්කරම තැනක් වුනේ එතැන තමයි. පහසුකම් අවම මට්ටමේ තමයි තිබ්බේ. ඒ මදිවට එදා හොඳටම වැස්ස. ඒ වෙනකොට කට්ටිය ගමනට පදම් වේගෙන එනවා. සමහරුන්ගේ අන්ගවල් ඒ වෙනකොට හිරි වැටිලා අමාරු දැනෙන්නේ නැති ගානට. සමහරුන්ගේ අබාධ වැඩි වෙලා ඇවිද ගන්න බැරි තරමට. සමහරු කිව්වට ඉතින් අමිලට තමයි එහෙම වුනේ. එදා රෑ වෙනකොට අමිල පෙන්ගුයින් කෙනෙක් වගේ පන්සලේ බණ මඩුවේ එහා මෙහා ඇවිදින එක අපිට හොඳ විනෝදයක් වුනා...


එදා රෑ නිදාගන්න යනකොට අපි තීරණය කරා ගොරවන කට්ටියව එක පැත්තකට දාන්න ඕනේ කියල. නැත්තන් එයාල මැදට වෙලා ගොරවන්න ගන්න නිසා. චාමර අයියගෙන් එහෙම කාටවත් කිසි කරදරයක් නෑ. උදේට නැගිට්ටම හිතෙන්නේ රෑ තිස්සේ ස්ටාට් කරලා තිබ්බ ලේලන්ඩ් බස් එකක් ළඟ නිදාගත්තා වගේ කියල විතරයි.

ඔන්න ඔය විදියට හතරවෙනි දවසත් ගෙවිලා ගියා.

මතු සම්බන්ධයි...