Thursday, November 24, 2016

Walk for Sight මතක සටහන් (2 වෙනි කොටස)

2. දෙනෙතට එළියක් - දයාබරත්වයේ පාගමන : පූදින පොඩි පැළයක්, ලොකු බලාපොරොත්තුවක්...

(පළමු කොටස මෙතනින් කියවන්න)

ඔන්න දැන් වැඩේට යාළුවොන්ගේ යාලුවොත් ඈඳෙනවා. මේ යාළුවො සෙට් එක ලංකාව වටේම කඳු, ගස් ගල්, ගල් ගුහා, නටඹුන්, එකී මෙකී නොකී හැමතැනකම රස්තියාදු ගහන අපේ රටට, රටේ මිනිස්සුන්ට ආදරේ කරන පිරිසක්. මේ අය ඔය රස්තියාදු ගහන ගමන් මහීල් අයියගේ ඇඳුනුම් කම උඩ ඩොක්ට අසේලවත් අඳුනගෙන, ඔය යන ගම්මාන කීපෙකට මේ වෛද්‍ය කණ්ඩායම එක්ක ස්වේච්චාවෙන් ගිහින් උදව් එහෙමත් කරපු නිසා, මේ කණ්ඩායම කරන නිහඬ සේවය ගැන දන්නවා. ඉතින් මේ වැඩේට කට්ටිය එක පයින් කැමති වෙනවා.

කොහොම හරි ඉතින් දැන් තව තව යාළුවො කීප දෙනෙක් වැඩේට සම්බන්ධ වෙලා කොහොම හරි මහීල් අයියා මඩකළපුවේ ඉඳල කොළඹට පයින් එන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා. එයා මීට කලින් මේ වගේ ඇවිදලා පුරුදු කෙනෙක් නෙමෙයි. නමුත් මේ වැඩේ කරන්න තියෙන උවමනාව නිසාම ඉදිරිපත් වෙනවා. මේ ආරංචිය අහපු ගමන් විෂන් 2020 වැඩසටහන එක්ක එකතු වෙලා වැඩ කරන සංවිධානෙක ඉන්න නුවන් චාමර ඒකනායක (චාමර අයියා) කියන කෙනත් කැමති වෙනවා මහීල් අයිය එක්ක මුළු දුරම ඇවිදින්න. දැන් මෙහෙම එකට ඇවිදින්න යන්නේ මීට කලින් අන්දුරන්නේවත් නැති දෙන්නෙක්. ඊට පස්සේ වැඩේ ටිකක් කරන්න ඕනේ මොන විදියටද කියල අදහසක් එනවා. මේ වගේ කීප දෙනෙක් සම්පූර්ණ දුරමත්, තව පුළුවන් අය විවිධ කොටස් වලත් ඇවිදින්න හොයාගෙන  ඒ අය වෙනුවෙන් අනුග්‍රහය දක්වල මුදලින් ආධාර කරන්න කට්ටිය හොයාගන්න එක තමයි මූලික සැලැස්ම. ඊට අමතරව මේ එන පාරේ මග දිගට තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වසම්වල සහය ලබාගෙන මහජනතාවගෙන් ආධාර එකතු කිරීමකුත් කරන්න කට්ටිය කතා වුනා.

ඔන්න ඉතින් වැඩේ ටික ටික පෙලගැසීගෙන එනවා. මේ වැඩේට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත් මහීපාල මහත්තයගේ සහයෝගේත් ලැබෙනවා. ඊට අමතරව පාගමනේ වැඩේ මේ යාලුවෝ කීප දෙනා එකතු වෙලා තව යාලුවොත් එකතු කරගෙන සංවිධානය කෙරෙනවා. කට්ටිය එකතු වෙලා ජංගම ශල්‍යාගාරයක් හදන්න යන වියදම එහෙමත් ඇස්තමේන්තු කරලා. ගාන නම් බොහොම සැරයි. රුපියල් මිලියන 45ක් (ලක්ෂ 450ක්) විතර යනවා වැඩේට. ඒත් දැන් පටන් ගත්තු වැඩේ අතාරින්න කවුරුත් කැමති නෑ. පාගමනට ගමන් මාර්ගයක් එහෙමත් හදලා. මඩකළපුවේ කල්ලඩි වෙරළින් පටන්ගෙන කොළඹ ගෝල් ෆේස් එක ගාවින් ඉවර කරන්න තමයි අදහස.

සිතියම් බලලා, මේකට ගැලපෙන රූට් එකක් හදලා, එක එක දවස් වලට යන්න ඕනේ දුර සහ නවතින්න සුදුසු තැන් මොනවද කියල දළ වශයෙන් තීරණය කරලා ඉවරයි. මේ වැඩේ කරලා දෙන්න හොයාගන්නේ අපේ රස්තියාදු ගහන කණ්ඩායමේ ඉන්න තවත් බොහොම සීනියර් යාලුවෙක්. එයා නම කියල ප්‍රසිද්ධ කරනවට කැමති නෑ. ඒ නිසා එයාට අපි නමක් දැම්මා Our Little Secret (OLS) කියල. ඔන්න OLS කොහොම හරි දවස් 17 කට වැඩේ ප්ලෑන් කරනවා. වැඩේ කෙරෙන්න යන්නේ අපි ඔය TV එකෙන් එහෙම දකින අනිත් දැවැන්ත පාගමන් විදියට නම් නෙමෙයි. එහෙම ලොකුවට වියදම් කරලා කරන්න අනුග්‍රහය දක්වන්න කෙනෙක් නෑ. ඊටත් පාගමනට ලොකුවට වියදම් කරන්නේ නැතුව පුළුවන් උපරිමේටම වියදම් අවම කරලා තියෙන හැම සතයක්ම අරමුණ වෙනුවෙන් යොදවන්න තමයි කට්ටියගේ අදහස. ඒ නිසා ගමනේ නවාතැන් විදියට අතරමග තියෙන පන්සල්, පල්ලි, කෝවිල් හෝ වෙන පොදු තැන් යොදාගන්න කට්ටිය එකඟ වෙනවා. කෑම බීම නවාතැන් ඒ තියෙන විදියට පිරිමහගෙන ඉන්න හැමෝම කැමතියි. ඔය පැතිවල හැම අස්සක් මුල්ලක් නෑරම ඇවිදලා තියෙන අපේ තව යාලුවෙක්, ඩොක්ට අශාන් ගීගනගේ කට්ටියකට නවතින්න ඉඩ තියෙනවා කියල හිතෙන ඒ වගේ තැන් ටිකක් ගැන විස්තර දෙනවා. ඕක තමයි දැන් මූලික සැලැස්ම.

සැලසුම් කරපු ගමන් මාර්ගයේ හිරන්‍යා මල්වත්ත අක්කා හදපු Video එක මෙතනින් බලන්න.

දැන් වැඩේ පිළිවෙල වීගෙන එනවනේ. දැන් ඉතින් මේක පොඩ්ඩක් කට්ටිය අතරේ ප්‍රසිද්ධ කරන්න ඕනේ. මොකද එහෙම නැත්තන් මේ ඇවිදින අයට අනුග්‍රහය ගන්න විදියක් නැහැනේ. මේ වැඩෙත් බොහොම සරල මට්ටමින් සමාජ ජාලා වෙබ් අඩවි වල යාළුවො අතරේ කරන්න තමයි කාගේත් කැමැත්ත. ලොකු සමාගම් කීපයක් මුනගහෙන්නත් මහීල් අයියා යනවා. ඒත් සුබදායක පිළිතුරක් නෑ. ඒත් කට්ටිය වැඩේ අතාරින්නෙ නෑ. ඔන්න ඔතනදී තමයි මම වැඩේට අහු වෙන්නේ. හිටපු ගමන් දවසක් නේරංජනා අක්කා මට කෝල් කරනවා. (නේරා තමයි මෙතන සම්බන්ධකම් ගොඩනගල දෙන එකේ මූලිකයා. අපි හැමෝවම අමාරුවේ දාන්නේ එයා තමයි).

"කසුන් අර අපේ යාළුවො වගයක් මඩකළපුවේ ඉඳල කොළඹට පයින් යන්න හදනව නේ. අර විෂන් 2020 කියල ඇහේ සුද අයින් කරන ඔපරේෂන් කරන අපි අඳුරන කට්ටියක් ඉන්නවනේ. එයාලට මේ මොබයිල් යුනිට් එකක් ගන්න සල්ලි එකතු කරන්න යන්නේ..." ඔන්න ඔහොම එකකට එකක් හිතාගන්න බැරි කතන්දර ගොඩක් කියල මට මේ මොකද්ද වෙන්නේ කියල හිතාගන්න බැරි ගානට ආවම තමයි මට කතා කරපු හේතුව කිව්වේ. "... දැන් කොහොම හරි මෙයාල ඇවිදින්න යන්නේ. මේක පොඩ්ඩක් දැන් පබ්ලිසිටි දෙන්න ඕනේ. අපි මේ ඇවිදින දෙන්නෙක්ගේ වොයිස් කට් දෙකක් වීඩියෝ කරලා තියෙනවා. ලබන සුමානේ අන්ධ අයගේ සංගීත සංදර්ශනයක් තියෙනවා. එතනදී මේක පොඩ්ඩක් වීඩියෝ එකක් විදියට හදල පෙන්නන්න තමයි අදහස. වැඩේ කරලා දෙන්න පුලුවන්ද?"

මම ඔය ඇවිදින ගමන් පොඩි පොඩි වීඩියෝ කෑලි හදල you tube එකට දාල තිබ්බට ඉතින් මේ වගේ වැදගත් වැඩකට අතගහන්න හිතට බයයි වගේ. ඒ නිසා මම මගේ යාලුවෙක් වැඩේට එකතු කරගන්නවා. චතුරංග කියන්නේ advertising, video editing, graphic designing ගැන පළපුරුද්ද තියෙන කෙනෙක්. චතුරංගට කතාව කිව්වම ඒ දවස් වල හොඳටම වැඩ වැඩි කාලයක් උනත් මේක කරලා දෙන්න කැමති වෙනවා. එදා හවස වැඩ ඇරිලා යනගමන් මගදී මහීල් අයියව මුණ ගැහිලා එයා එක්ක අර කියපු වීඩියෝ ක්ලිප් 2ත් අරගෙන චතුරංග ගේ ගෙදර යනවා. ඩොක්ට අසේලත් එයාගේ වාහනෙන් අපි පස්සෙන් ආපු බව මම දන්නේ එතනට ගිහින් බැස්සටත් පස්සේ... මේ කාවවත් මීට කලින් මම අඳුරන්නේ නෑ.

කොහොම හරි චතුරංග ලස්සනට වීඩියෝ එක හදල දෙනවා. Walk for Sight කියන එකට සිංහල නම විදියට "දෙනෙතට එළියක් - දයාබරත්වයේ පාගමන" කියන එක යෝජනා කරන්නෙත් චතුරංග. ඔය වීඩියෝ එක දෘශ්යාබාධිතයින්ගේ සංගීත ප්‍රසංගයේදී පෙන්නනවා වගේම අන්තර්ජාලය තුලත් මුදා හරිනවා. ෆේස්බුක් එක තමයි ඉතින් මූලික ඉලක්කය.

මෙන්න ඒ වීඩියෝව

ඔන්න ඉතින් දැන් ෆේස්බුක් එක හරහා මේ වැඩේ ගැන අපේ යාළුවො එහෙම දැනුවත් වෙනවා. ගොඩ දෙනෙක්ගෙන් හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා. මුදලින් ආධාර කරන්න, ගමනට සම්බන්ධ වෙන්න සහ වෙන ආකාරවලින් උදව් කරන්න කට්ටිය ඉදිරිපත් වෙනවා. ඔය අතරේ දන්නෙම නැතුව මම මේ ගමනේ නිල වීඩියෝ සහ ග්‍රැෆික් නිර්මාණය කරන වෙලා. මුළු දුරම ඇවිදින අයගේ ෆොටෝ අරගෙන පොඩි පොඩි ප්‍රචාරක පෝස්ටර් හදන්න, සහය දක්වන කීප දෙනෙක්ගේ අදහස් වීඩියෝ කරලා පොඩි පූර්ව ප්‍රචාරක වීඩියෝ හදන වැඩේ එහෙම දැන් කෙරෙනවා.

https://www.facebook.com/sightforlifelk/videos/630285120408502/

ගමනේ මුළු දුරම ඇවිදින්න 4 දෙනෙක් ඉදිරිපත් වෙලා. එක්කෙන්ක්වත් මීට කලින් අඳුරන අය නෙමෙයි. මහීල් අයියා, චාමර අයියා එක්ක ඇවිදින්න කලීඩ් සහ චලන ඉදිරිපත් වුනා. මේ අය අතරින් කලීඩ් සුවිශේෂයි. එයා අවුරුදු 26 දී සම්පූර්ණයෙන් අන්ධ භාවයට පත් වෙච්ච තරුණයෙක්. නමුත් හිතේ ධෛර්යය කිසිම අඩුවක් නැති චරිතයක්. ඇස් පේන්නේ නැති උනා කියල ජීවිතේ කඩාවට්ටගන්නේ නැතුව ගත කරන කෙනෙක්. පෙනීම තිබුන කෙනෙක්ට පෙනීම නැති උනාම මොන වගේද කියන එක කලීඩ් හොඳටම දන්නවා. ඒ නිසයි එයා මේ පණිවිඩය අරගෙන ගම්දනව් හරහා යන්න ඉදිරිපත් වෙන්නේ. චලන මගේ යාලුවෙක් ගේ යාලුවෙක්. දෙන්නම ඇවිදින්න හිතාගෙන හිටියත් යාළුවා කැම්පස් තේරිලා යන්න වුන නිසා අන්තිමට චලන ඉතුරු වුනා. කොහොම උනත් කවදාවත් අඳුරගෙන හිටියෙවත් නැති පිරිසක් එක්ක මේ වැඩේට සම්බන්ධ වෙන්න චලන දෙපාරක් හිතුවේ නෑ.





- මතු සම්බන්ධයි...

2 comments:

  1. We decided to be Vegetarians, Non-Smokers and also promise not to consume any alcohol during the Walk :D :D

    ReplyDelete
    Replies
    1. That means you had become one of the nicest people in the world ;D (During the walk, I meant :D)

      Delete