Thursday, November 24, 2016

Walk for Sight මතක සටහන් (3 වෙනි කොටස)

3. දෙනෙතට එළියක් - දයාබරත්වයේ පාගමන : පුංචි ඇටේ පැළ වෙනා - පුංචි පැළේ ගස වෙනා

(පළමු කොටස : http://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-1.html
දෙවෙනි කොටස : http://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-2.html )

දැන් ඉතින් කොහොම හරි වැඩේ ඔක්කොම සංවිධානය වෙලා. 2015 නොවැම්බර් 26 වෙනිදා උදේ මඩකළපුවේ කල්ලඩි වෙරළ ගාවින් පා ගමන පටන් ගන්න සූදානම්. එහේ වැඩ ටිකකුත් සංවිධානය කරගන්න තියෙන නිසා කට්ටිය 24 රෑ කොළඹින් පිටත් වෙනවා. ඩොක්ට අසේල යි, විෂන් 2020 එකේ මේ පාගමන සංවිධාන වැඩ කටයුතු කරපු "සායි" නොහොත් සායිසනාතනී පුගේන්ද්‍රන් එක්ක මම කොළඹින් පිටත් වෙන්නේ 25 උදේ. අම්ම අසනීප වෙලා ඉස්පිරිතාලේ හිටපු නිසා යනවද නැද්ද කියල දෙගිඩියාවෙන් හිටියත් මම සැලසුම් කරපු විදියට මේ ගමන යන්නම ඕනේ කියල තද බල විදියට කිව්වේ අම්මා තමයි. අම්මගේ වැඩ ටික බලාගන්න වගකීම තාත්තා බාරගත්තු නිසා මමත් ඔන්න ගමන පිටත් වෙනවා.

දවස් 7 කට අත්‍යාවශ්‍ය දේවල් විතරයි. නමුත් හැම දේටම සූදානමින් වෙන්නත් ඕනේ.

ඔක්කොම පැක් කරලා යන්න සූදානම්


25 වෙනිදා පාන්දර වෙනකොට මඩකළපුවට ගියපු OLS, නේරා, මහීල් අයියා, චාමර අයියා, චලන, ඉඳුනිල් අයියා, අමිල ඇතුළුව විෂන් 2020 කණ්ඩායමේ නිසංසලා ඇතුළු කට්ටිය එදා දවසේ අපි නවාතැන් ගන්න සූදානම් කරගෙන තිබ්බ "සායි මධ්‍යස්ථානයේ" ඉඳගෙන පෙර සූදානම් වැඩ පටන්ගෙන.25 පාන්දර මඩකළපුවට ගිය පිරිස කිව්වම ඉතින් කලින් දවසේ රෑ තව පොඩ්ඩෙන් කෝච්චිය මග ඇරෙන්න ගිහින් අන්තිමට කෝච්චිය නවත්තගෙන ඉඳල ඒකට ගොඩ වුන චාමර අයියයි, මීට කලින් මඩකළපු කෝච්චියේ ගිහින් නැති නිසා ඒ ගමනේ ලස්සන බලන්න හිතාගෙන රෑ කෝච්චියේ ආපු නේරා යි, කොහොම එනවද කියල කවුරුත් නොදැන ඉඳල අන්තිම මොහොතේ කඩාපාත් වුන අමිලයි එහෙමත් ඔතන හිටියා...

ඔය අතරේ එයාලව මුණ ගැහෙන්න එන්නේ කැමී. 'කැමී' නොහොත් කැමිනස් ෆේස්බුක් එකේ මුණගැහුන මගේ නුදුටු යාලුවෙක්. පාගමන ගැන විස්තර දැකලා ඒ ගැන ලොකු උනන්දුවක් ඇති වුන නිසා අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඉදිරිපත් වුනා. දවස් 17ක් ම  නිවාඩු ගන්න අමාරු නිසා පලවෙනි දවස් 7 ඇවිදින්න බලාගෙන බදුල්ලේ ඉඳල ආපු කැමී මඩකළපුවේ ඉන්න එයාගේ යාළුවො කීප දෙනෙක් එක්ක ආපු ගමන්ම වැඩේට බැස්සා. සල්ලි එකතු කරන්න සූදානම් කරපු කැටයකුයි විස්තර පත්‍රිකා මිටියකුයි අරගෙන නගරයේ ඇවිදපු කැමී හවස් වෙනකොට ආපහු ඇවිල්ල තිබුනේ සෑහෙන ලොකු මුදලකුත් එකතු කරගෙන. අපේ වැඩේ සාර්ථක වෙයි කියන පළමු සුබ නිමිත්ත උනේ කැමීට ලැබුන ප්‍රතිචාරය තමයි. ද්‍රවිඩ භාෂාව හොඳින් දන්නා නිසා මඩකළපුවේ ජනතාව අතරේ මේ පණිවිඩය යවන්න කැමීට පුළුවන් උනා.

මේ අතරේ 'දෙනෙතට එළියක්' පාගමනට මාධ්‍ය දායකත්වය දක්වන්න ඉදිරිපත් වුන ස්වර්ණවාහිනී නාලිකාවේ කණ්ඩායමත් මඩකළපුවට ඇවිල්ලා. වලක්වාගත හැකි අන්ධභාවයට පිලිබඳ පණිවිඩය රැගෙන ජංගම අක්ෂි ශල්‍යාගාරයට මුදල් එකතු කරන්න ලංකාව හරහා ඇවිදින්න සූදානම් වෙලා ඉන්න Vision Walkers ලා 4 දෙනාගෙන් අදහස් පටිගත කරගෙන රූපවාහිනී වැඩසටහනේ පෙර සූදානම් වැඩ නිම කරගෙන.

මඩකළපුවේ මේ දේවල් වෙනකොට මමත්, ඩොක්ට අසේලත්, සායි ත් රියදුරු ප්‍රසන්න එක්ක මඩකලපුව බලා ගමනේ. සායි ට කෙළවරක් නැති දුරකථන ඇමතුම්. පාගමන එක්ක දින 17 පුරාවටම සම්බන්ධ වෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, අපේ නවාතැන් ගන්න ස්ථාන, වෙනත් පුද්ගලයින් සහ ආයනතන එක්ක සියලු සම්බන්ධීකරණය එයාගේ අතේ. හවස් වෙනකොට සියලුම දේවල් සංවිධානය කරගෙන ඉවරයි.
මග යන ගමන්

ඩිකිය පිරෙන්න බඩු

ගමනේදී අතරමගදී අපිට හදිසි තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුනොත් එකට පෙර සූදානමක් විදියට අපි යන මාර්ගය දිගට තියෙන හමුදා කඳවුරු වලින් සහයෝගය ගන්න පුළුවන් ද කියල බලන එක OLS ගේ යෝජනාවක්. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලැබුනේ ඉතාම යහපත් ප්‍රතිචාරයක්. ඒ ඒ දිනවලට අපි පසුකරන ප්‍රදේශ වල හමුදා කඳවුරු අපිට ඕනෙම සහයක් දෙන්න සූදානම් කෙරුණා. ඊට අමතරව දින 17 ම අපිත් එක්ක රැඳෙන්න බලාගෙන යුධ හමුදා ගිලන් රථයක් 25 වෙනිදා හවස් වෙනකොට කාර්ය මණ්ඩලයත් සමගම මඩකළපුවට ඇවිල්ලා තිබුනා.
සාකච්ඡා...

ඉස්සෙල්ල වඩේ ටික කාල ඉමු


මේ ඔක්කොම කරගෙන අපි මඩකළපුවේ හිටපු කණ්ඩායම එක්ක එකතු වෙනකොට කළුවර වැටිලා. ගමනට අවශ්‍ය සියලු දේ සූදානම් කරගෙන අපි නින්දට යනකොට හොඳටම රෑ වෙලා.

මතු සම්බන්ධයි...

No comments:

Post a Comment