පෙර කොටස් :
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-1.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-2.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-3.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-4.html
http://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-5.html
2015 නොවැම්බර් 28. ගමනේ තුන්වෙනි දවසත් උදා වුනා. දැන් මේ වෙනකොට කට්ටිය හොඳට අඳුනනවා. කට්ටියම හොඳට එකමුතුයි. අපි නවාතැන් ගත්තු පන්සලේ වැසිකිළි පහසුකම් එහෙම අවම මට්ටමින්. එක වැසිකිලියක් සහ මූණ හෝදගන්න කරාම දෙකක් වගෙයි දැන් මට මතක. මෙතන ඉඳල ඉස්සරහට ඉන්න ලැබෙන ගොඩක් තැන්වල තත්වය මේ වගේ වෙයි. ඉතින් අපි ඒකට හැඩගැහෙන්න එපැයි. හැමදාම ගමන පුළුවන් තරම් පාන්දරින් පටන් ගන්න මුලදීම කතා වෙලා තිබ්බ නිසා කට්ටියට සූදානම් වෙන්න කල්වේලා ඇතුව උදෙන්ම නැගිටින්න වෙනවා.
ගමන ඉවරවෙනකන් ම හැමදාම පළවෙනියටම අවදි වුනේ මහීල් අයියා. ඊට පස්සේ එක එක්කෙනා හෙමිහිට නැගිටලා සූදානම් වෙනවා. ටික වෙලාවකින් පිටත් වෙන වෙලාව ගැන OLS ගෙන් දැනුම් දීම් දෙක තුනක් එනකොට තමයි දඩි බිඩි ගාල වැඩ කෙරෙන්න පටන් ගන්නේ.
ඔන්න ඉතින් තුන්වෙනි දවසෙත් පාන්දර තුනට විතර මහීල් අයියා නැගිටලා. කළුවරේ ගිහින් ටැප් එක ගාව වැටිලා කකුලත් තුවාල කරගත්ත වගෙයි මතක... කොහොම හරි ඊට පස්සේ ඇවිල්ල අපිටත් නිදාගන්න බැරි වෙන්න සද්ද බද්ද කරලා අපිව ඇහැරෙව්වා. රෑ ඉඳලම පොඩි වැස්සකුත් තිබ්බ නිසා වැඩ ටික කරගන්න එක ඒ තරම් පහසු උනේ නෑ.
කොහොම හරි ඉතින් 6 වෙන්න කලින් කට්ටිය ගමනට සූදානම්. ඒත් පොඩි ගැටළුවක්. කලින් දවසේ මගේ එක කකුලක ආපු පොඩි ආබාධය ගණන් නොගෙන දිගටම ඇවිදපු නිසා දැන් කකුල ඉදිමිලා ඇවිද ගන්න බෑ. OLS තරයේ කියා ඉන්නවා අදත් ඇවිදලා වැඩේ තව අවුල් කරගන්නේ නැතුව අද මට වාහනේ එන්න කියල. ඒ උනාට මගේ එකට කැමැත්තක් නෑ. ඔය වෙලාවේ පිහිටට ආවේ චාමර අයියා. චාමර අයියා කියන්නේ හදිසි ප්‍රථමාධාර ගැන වෘත්තියමය සුදුසුකම් සපුරපු හොඳ පළපුරුද්දක් තියෙන Emergency Medical Technician කෙනෙක්. යටි පතුල ආසන්නයේ ආබාධයට ලක් වුන මස්පිඬුව ලොකු ප්ලාස්ටර් එකකින් තද කරලා කකුල හොඳට බැන්ඩේජ් කරාට පස්සේ වේදනාව නොදැනී ඇවිදින්න පුළුවන් උනා. අනවශ්‍ය විදියට කකුල වෙහෙසවන්නේ නැතුව ඇවිදිනවා සහ අමාරු උනොත් ගුටි නොකා වාහනේට ගොඩ වෙනවා කියන කොන්දේසි දෙක මත ගමනට OLS ගේ අනුමැතිය ලැබුනා.
(වමේ සිට) සායි, කලීඩ්, මහීල්, චලන, චාමර සහ මම |
පුළුකුනාව හන්දියෙන් ගමන් ආරම්භ
කරනකොට උදේ 6 පහු වෙලා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තුමා තුන්වෙනි දවසටත් අපි
එක්ක ඇවිදින්න ඇවිල්ල හිටියා. ඇත්තටම වෛද්‍ය මහීපාල මහත්තයාගේ උනන්දුව සහ
කැපවීම නම් අගය කරන්නම ඕනේ දෙයක්. තුන්වෙනි දවසේ ගමන් මාර්ගය වුනේ
පුළුකුනාව ඉඳල මහඔය වෙනකන්. ගමන තනිකරම අම්පාර - මහියංගණය ප්‍රධාන මාර්ගය
ඔස්සේ. මේ වෙනකොට ලංකාවේ බොහොම කලාතුරකින් දකින්න ලැබෙන විදියේ ලස්සනට
කාපට් නොකරපු පාරක්.
ආණ්ඩුවේ ඉහල නිලධාරියෙක් මෙහෙම පයින් ගිහින් මිනිස්සු එක්ක කතා කරනවා කියන එකත් ලොකු දෙයක්.. |
මහීල් අයියා... |
උදේ ඉඳලම දවස් පුරාවටම චුරු චුරු වැස්ස. විටින් විට පොඩ්ඩක් වැස්ස සැර උනා. අපි යන මග දෙපැත්තේ දිගටම තිබ්බේ හේන් යායවල් සහ බොහොම දුප්පත් ගැමි පරිසරයක්. සුන්දරත්වය ගැන නම් කියන්න වචන නෑ. අපිට හමු වුන හැමෝම වගේ දුප්පත්කමේ අන්තෙටම ගිය මිනිස්සු. නමුත් අපේ අරමුණ ගැන ඇහුවාම ඒ මිනිස්සුන්ගේ ප්‍රතිචාර හිතාගන්නවත් බැරි උනා. ඒ දුප්පත් මිනිස්සු මනුස්සකම අතින් කොයි තරම් පොහොසත් ද කියල හිතාගන්න බැරි උනා. මට හොඳටම මතක සිද්ධියක් එදා දවසේ වුනා. එක පුංචිම පුංචි කටුමැටි ගෙදරක හිටපු ආචිචි කෙනෙක් රුපියල් 500ක් අපේ කැටේට දැම්මා. සමහර විට ඒ ආච්චිගේ මාසේ මුළු පිං පඩියම වෙන්නා ඇති. ඒත් අපි මේ යන්නේ දුප්පත් මිනිස්සුන්ට පෙනීම ලබා දෙන්න කියල කිව්වම ඒ ආච්චි දෙපාරක් හිතුවේ නෑ...
අපි උදේට කෑවේ පොලිසියෙන්... නෑ නෑ පොලිසියෙන් කෑවා කිව්වේ දුවන්න කෑවා කියන එක නෙමෙයි. අපිට උදේ කෑම ලැස්ති කරලා තිබ්බේ මංගලගම පොලිස් ස්ථානයක් ඇතුලේ. උදේ කෑම නම් ජයටම තිබ්බ. පොලිසියෙන් කාල පිටත් උනාට පස්සේ වැඩි විශේෂයක් නැතුව ගමන ගියා.
මංගලගම පොලිස් ස්ථානය |
පොලිසියෙන් කෑම... |
පව් අපේ තරුණ මල්ලි |
ආ මේ වෙනකොට අමිල පූර්ණ ආබාධිත තත්වයෙන් වාහනේ ඇතුලේ. කලින් දවසේ ගොඩ වෙදකම් කරගෙන ඇවිදින්න ගිහින් අමිලට එදා අවිදගන්නම බෑ. ඉතින් ඉඳුනිල් අයියා එක්ක වාහනේ ඉඳගෙන අපිට සහය දෙන එක තමයි අමිලගේ රාජකාරිය උනේ . ඔය අතරේ OLS නැති වෙලාවල් බලලා ටිකක් ඇවිදිනවා.
එදා දවසම මේ වගේ අඳුරුයි |
පොඩි විවේකයක් |
දවල් වෙද්දී අපි අරන්තලාව STF කඳවුර ලඟට ආව. එතන අපිට රස කෑම වේලක් හම්බ උනා. මේ වෙනකොට මගේ කකුලත් අසාධ්‍යයි. OLS ගේ අවසාන නිවේදනය පිළිගෙන මමත් ඉඳුනිල් අයියයි අමිලයි එක්ක වාහනේට ගාල් උනා.
අතරමග හම්බ වෙන කඩේකට කඩා පනින්නත් අපි අමතක කරේ නෑ... |
මට මෙව්වගෙ නම මතක නෑ. හැබැයි රහ නම් මතකයි.. |
අපි මහඔය ට එනකොට හවස් වෙලා. මහඔය - මඩකළපුව ප්‍රධාන පාරට අම්පාරෙන් එන පාර සම්බන්ධ වෙන හන්දිය (69 හන්දිය වගේ මට මතක) ළඟ අම්පාර රෝහලේ ලොකු පිරිසක් ඇවිල්ලා හිටියා. එතන හිටපු අය අපි එනකන් පාරේ යන එන බස් වලට එහෙම ගොඩ වෙලා ලොකු ආධාර මුදලකුත් එකතු කරගෙන තිබ්බේ. එතන ඉඳල ලොකු පෙඅරහරකින් මහඔය රෝහල වෙනකන් අපි ගියා.
අමිල සහ ඉඳුනිල් අයියා... |
එදා රෑ අපි රෝහලේ. නෑ ලෙඩ වෙලා නෙමෙයි. අපිට නවාතැන් ලැස්ති කරලා තිබ්බේ රෝහලේ උඩ තට්ටුවක. ඒ වෙනකොටත් ටිකක් කළුවර වැටිලා තිබ්බේ. අපි ඊට පස්සේ ඒ කිට්ටුව තියෙන උණුවතුර උල්පත් වලට ගිහින් මහන්සිය යන්න නාගත්තා. කලීඩ් ව නාවන එක තමයි අමාරුම වැඩේ. උණු වතුර ඇඟට දානකොට කලීඩ් දුවනවා. බයේ බෑ එතන ලිස්සල වැටේවිද කියල. වාහනයක් හෝදනවා වගේ ඈත ඉඳන් වතුර බාල්දි කලීඩ් ගේ ඇඟට වීසි කරපු එක තමයි අපි කරේ...
රසම රස කෑම වේලකට පස්සේ මහඔය රෝහලේ අපි වෙනුවෙන් පොඩි පැදුරු සාජ්ජයක් ලැස්ති කරලා තිබ්බ. ඒකත් නියමෙට තිබුනා. ඔන්න ඔහොම තමයි තුන්වෙනි දවස් නිමා උනේ.
මතු සම්බන්ධයි...
No comments:
Post a Comment