Thursday, November 24, 2016

Walk for Sight මතක සටහන් (1 වෙනි කොටස)


1. දෙනෙතට එළියක් - දයාබරත්වයේ පාගමන - පුංචි අදහසක්, ලොකු අවශ්‍යතාවයක්...
------------------------------------------------------------------------------------------------------------------------

Walk for Sight, එහෙම නැත්තන් "දෙනෙතට එළියක් - දයාබරත්වයේ පාගමන" කියන්නේ යාළුවො කීප දෙනෙක්ගේ හිතේ ඇති වුන සිතුවිල්ලක් හරිම පොඩි මට්ටමෙන් ගොඩ නැගිලා ඒකට තව තව යාළුවො, යාළුවොන්ගේ යාලුවෝ, එයාලගෙත් යාලුවෝ විදියට එකතු වුන පොඩි කණ්ඩායමක් කරපු වැඩක්. හැබැයි වැඩේ නම් පොඩි නෑ. මේ ටික දෙනා එකතු වෙලා කරපු වැඩේ තමයි දවස් 17ක් තිස්සේ මඩකළපුවේ ඉඳල කොළඹට ලංකාව හරහා කිලෝමීටර් 350කතථ් වැඩි දුරක් පාගමනින් ආපු එක. එහෙම ආවේ නිකන්ම ආසාවට නෙමෙයි. ලොකු අරමුණක් වෙනුවෙන්. ඒ තමයි ලංකාවේ ඇහේ සුද ඉවත්කරගන්න අවශ්‍ය කරන පහසුකම් සහ මුදල් නැතිකම නිසා ඒ සැත්කම කරගන්න බැරුව අන්ධ භාවයට පත් වෙන ලක්ෂ ගාණක් දුප්පත් මිනිස්සුන්ට නොමිලේ සැත්කම කරලා දෙන්න අවශ්‍ය කරන ජංගම අක්ෂි සායන රථයක් නිර්මාණය කරලා දෙන්න අරමුදල් එකතු කරන එක.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තියෙන විෂන් 2020 (Vision 2020) කියන වැඩසටහන අවුරුදු ගාණක් තිස්සේ අඩු ආදායම්ලාභීන්ට නොමිළේ අක්ෂි කාච ලබාදෙනවා. ඊට අමතරව එයාල ඈත පළාත් වලට ගිහින් සායන පවත්වලා, එතනදී සැත්කම් කරන්න අවශ්‍යයි කියල හඳුනාගන්න රෝගීන්ව ලඟම තියෙන රෝහලට ගෙන්වල නොමිලේම සැත්කම කරලත් දෙනවා. මේ හැමදේකටම එයාලට මුදල් වලින් උදව් කරන්නේ විවිධ පරිත්‍යාගශීලීන්. 




ඒත් මෙහෙම කරනකොට ප්‍රායෝගිකව මේ විෂන් 2020 කණ්ඩායමට සහ රෝගීන්ට මුහුණ දෙන්න වෙන ගැටළු තියෙනවා. ලොකුම ගැටලුව තමයි මේ සැත්කම ඉතා කුඩා එකක් වුනත් ඒක කරගන්න ඕනේ කරන පහසුකම් ලංකාවේ හැම ඉස්පිරිතාලෙකම නැති එක. ඒ නිසා මේ කණ්ඩායමට සිද්ධ වෙනවා අදාළ පළාතේ ලඟම තියෙන පහසුකම් ඇති රෝහල තෝරාගන්න. එතකොට රෝගීන්ට ඒ රෝහලට එන්න වෙනවා. ඔතනදි රෝගීනුත්  දුෂ්කරතාවයකට පත් වෙනවා. සමහර අයට ලඟම තියෙන පහසුකම් තියෙන රෝහල තියෙන්නේත් කිලෝමීටර් 60ක් 70ක් හෝ සමහරවිට ඊටත් දුරින්.

ඔන්න ඔතනදි තමයි විෂන් 2020 වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක විදියට සේවය කරන වෛද්‍ය අසේල අබේධීර මහත්තයට ජංගම රථයක් ගැන අදහසක් පහල වෙන්නේ. මේ සැත්කම වෙනුවෙන්ම ඊට අවශ්‍ය උපාංග සවිකරලා නිමවුන ජංගම ශල්‍යාගාරයක් තිබ්බොත් එක ගමේ තියෙන පොඩි ඉස්පිරිතාලේ ලඟට වුනත් ගෙනිහිල්ල සැත්කම කරන්න පුළුවන් කියන අදහස ඇති වෙන්නේ.  


ඇත්තටම මේ අදහස ගොඩක් ප්‍රායෝගික වගේම සරල විසඳුමක්. වැඩේ නම් සරල නෑ. ඒත් ලංකාවේ හැම රෝහලකම ශල්‍යාගාර පහසුකම් වැඩි දියුණු වෙනකන් බලා ඉන්නවට වඩා සරල විසඳුමක්.

දැන් තමයි ඊළඟ ප්‍රශ්නේ. මෙහෙම එකක් හදන්න විශාල වියදමක් යනවා. කොහොමද සල්ලි හොයාගන්නේ...? ඔතනදි තමයි අසේල දොස්තර මහත්තයාගේ ඉස්කෝලේ කාලේ ඉඳල අතිජාත මිත්‍රයෙක් වුන මහීල් මහදුරගේ මහත්තය පාගමනක් ගැන අදහසක් ඉදිරිපත් කරන්නේ. ඒත් ඉතින් මේක කොහොම කරනවද, කොහේ ඉඳන් කොහෙට යනවද කියල කිසි අදහසක් කාටවත් තිබ්බේ නෑ. 
මතු සම්බන්ධයි...

2 comments:

  1. සංචාරය කියන්නේ මගේ කැමතිම මාතෘකාවක්, දිගටම කියවන්න පුළුවන් විදිහට ලියල තියනවා.

    දිගටම ලියන්නේ නැත්තේ ඇයි ?

    ReplyDelete