Monday, November 28, 2016

Walk for Sight මතක සටහන් (6 වෙනි කොටස)

6. දෙනෙතට එළියක් - දයාබරත්වයේ පාගමන : පුළුකුනාව සිට මහඔය දක්වා තෙවෙනි දිනයට...

පෙර කොටස් :
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-1.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-2.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-3.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-4.html
http://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-5.html


2015 නොවැම්බර් 28. ගමනේ තුන්වෙනි දවසත් උදා වුනා. දැන් මේ වෙනකොට කට්ටිය හොඳට අඳුනනවා. කට්ටියම හොඳට එකමුතුයි. අපි නවාතැන් ගත්තු පන්සලේ වැසිකිළි පහසුකම් එහෙම අවම මට්ටමින්. එක වැසිකිලියක් සහ මූණ හෝදගන්න කරාම දෙකක් වගෙයි දැන් මට මතක. මෙතන ඉඳල ඉස්සරහට ඉන්න ලැබෙන ගොඩක් තැන්වල තත්වය මේ වගේ වෙයි. ඉතින් අපි ඒකට හැඩගැහෙන්න එපැයි. හැමදාම ගමන පුළුවන් තරම් පාන්දරින් පටන් ගන්න මුලදීම කතා වෙලා තිබ්බ නිසා කට්ටියට සූදානම් වෙන්න කල්වේලා ඇතුව උදෙන්ම නැගිටින්න වෙනවා.

ගමන ඉවරවෙනකන් ම හැමදාම පළවෙනියටම අවදි වුනේ මහීල් අයියා. ඊට පස්සේ එක එක්කෙනා හෙමිහිට නැගිටලා සූදානම් වෙනවා. ටික වෙලාවකින් පිටත් වෙන වෙලාව ගැන OLS ගෙන් දැනුම් දීම් දෙක තුනක් එනකොට තමයි දඩි බිඩි ගාල වැඩ කෙරෙන්න පටන් ගන්නේ.

ඔන්න ඉතින් තුන්වෙනි දවසෙත් පාන්දර තුනට විතර මහීල් අයියා නැගිටලා. කළුවරේ ගිහින් ටැප් එක ගාව වැටිලා කකුලත් තුවාල කරගත්ත වගෙයි මතක... කොහොම හරි ඊට පස්සේ ඇවිල්ල අපිටත් නිදාගන්න බැරි වෙන්න සද්ද බද්ද කරලා අපිව ඇහැරෙව්වා. රෑ ඉඳලම පොඩි වැස්සකුත් තිබ්බ නිසා වැඩ ටික කරගන්න එක ඒ තරම් පහසු උනේ නෑ.

කොහොම හරි ඉතින් 6 වෙන්න කලින් කට්ටිය ගමනට සූදානම්. ඒත් පොඩි ගැටළුවක්. කලින් දවසේ මගේ එක කකුලක ආපු පොඩි ආබාධය ගණන් නොගෙන දිගටම ඇවිදපු නිසා දැන් කකුල ඉදිමිලා ඇවිද ගන්න බෑ. OLS තරයේ කියා ඉන්නවා අදත් ඇවිදලා වැඩේ තව අවුල් කරගන්නේ නැතුව අද මට වාහනේ එන්න කියල. ඒ උනාට මගේ එකට කැමැත්තක් නෑ. ඔය වෙලාවේ පිහිටට ආවේ චාමර අයියා. චාමර අයියා කියන්නේ හදිසි ප්‍රථමාධාර ගැන වෘත්තියමය සුදුසුකම් සපුරපු හොඳ පළපුරුද්දක් තියෙන Emergency Medical Technician කෙනෙක්. යටි පතුල ආසන්නයේ ආබාධයට ලක් වුන මස්පිඬුව ලොකු ප්ලාස්ටර් එකකින් තද කරලා කකුල හොඳට බැන්ඩේජ් කරාට පස්සේ වේදනාව නොදැනී ඇවිදින්න පුළුවන් උනා. අනවශ්‍ය විදියට කකුල වෙහෙසවන්නේ නැතුව ඇවිදිනවා සහ අමාරු උනොත් ගුටි නොකා වාහනේට ගොඩ වෙනවා කියන කොන්දේසි දෙක මත ගමනට OLS ගේ අනුමැතිය ලැබුනා.

(වමේ සිට) සායි, කලීඩ්, මහීල්, චලන, චාමර සහ මම


පුළුකුනාව හන්දියෙන් ගමන් ආරම්භ කරනකොට උදේ 6 පහු වෙලා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තුමා තුන්වෙනි දවසටත් අපි එක්ක ඇවිදින්න ඇවිල්ල හිටියා. ඇත්තටම වෛද්‍ය මහීපාල මහත්තයාගේ උනන්දුව සහ කැපවීම නම් අගය කරන්නම ඕනේ දෙයක්. තුන්වෙනි දවසේ ගමන් මාර්ගය වුනේ පුළුකුනාව ඉඳල මහඔය වෙනකන්. ගමන තනිකරම අම්පාර - මහියංගණය ප්‍රධාන මාර්ගය ඔස්සේ. මේ වෙනකොට ලංකාවේ බොහොම කලාතුරකින් දකින්න ලැබෙන විදියේ ලස්සනට කාපට් නොකරපු පාරක්. 
ආණ්ඩුවේ ඉහල නිලධාරියෙක්  මෙහෙම පයින් ගිහින් මිනිස්සු එක්ක කතා කරනවා කියන එකත් ලොකු දෙයක්..



මහීල් අයියා...

උදේ ඉඳලම දවස් පුරාවටම චුරු චුරු වැස්ස. විටින් විට පොඩ්ඩක් වැස්ස සැර උනා. අපි යන මග දෙපැත්තේ දිගටම තිබ්බේ හේන් යායවල් සහ බොහොම දුප්පත් ගැමි පරිසරයක්. සුන්දරත්වය ගැන නම් කියන්න වචන නෑ. අපිට හමු වුන හැමෝම වගේ දුප්පත්කමේ අන්තෙටම ගිය මිනිස්සු. නමුත් අපේ අරමුණ ගැන ඇහුවාම ඒ මිනිස්සුන්ගේ ප්‍රතිචාර හිතාගන්නවත් බැරි උනා. ඒ දුප්පත් මිනිස්සු මනුස්සකම අතින් කොයි තරම් පොහොසත් ද කියල හිතාගන්න බැරි උනා. මට හොඳටම මතක සිද්ධියක් එදා දවසේ වුනා. එක පුංචිම පුංචි කටුමැටි ගෙදරක හිටපු ආචිචි කෙනෙක් රුපියල් 500ක් අපේ කැටේට දැම්මා. සමහර විට ඒ ආච්චිගේ මාසේ මුළු පිං පඩියම වෙන්නා ඇති. ඒත් අපි මේ යන්නේ දුප්පත් මිනිස්සුන්ට පෙනීම ලබා දෙන්න කියල කිව්වම ඒ ආච්චි දෙපාරක් හිතුවේ නෑ...

අපි උදේට කෑවේ පොලිසියෙන්... නෑ නෑ පොලිසියෙන් කෑවා කිව්වේ දුවන්න කෑවා කියන එක නෙමෙයි. අපිට උදේ කෑම ලැස්ති කරලා තිබ්බේ මංගලගම  පොලිස් ස්ථානයක් ඇතුලේ. උදේ කෑම නම් ජයටම තිබ්බ. පොලිසියෙන් කාල පිටත් උනාට පස්සේ වැඩි විශේෂයක් නැතුව ගමන ගියා.
මංගලගම පොලිස් ස්ථානය

පොලිසියෙන් කෑම...

පව් අපේ තරුණ මල්ලි



ආ මේ වෙනකොට අමිල පූර්ණ ආබාධිත තත්වයෙන් වාහනේ ඇතුලේ. කලින් දවසේ ගොඩ වෙදකම් කරගෙන ඇවිදින්න ගිහින් අමිලට එදා අවිදගන්නම බෑ. ඉතින් ඉඳුනිල් අයියා එක්ක වාහනේ ඉඳගෙන අපිට සහය දෙන එක තමයි අමිලගේ රාජකාරිය උනේ . ඔය අතරේ OLS නැති වෙලාවල් බලලා ටිකක් ඇවිදිනවා.
එදා දවසම මේ වගේ අඳුරුයි

පොඩි විවේකයක්








දවල් වෙද්දී අපි අරන්තලාව STF කඳවුර ලඟට ආව. එතන අපිට රස කෑම වේලක් හම්බ උනා. මේ වෙනකොට මගේ කකුලත් අසාධ්‍යයි. OLS ගේ අවසාන නිවේදනය පිළිගෙන මමත් ඉඳුනිල් අයියයි අමිලයි එක්ක වාහනේට ගාල් උනා.


අතරමග හම්බ වෙන කඩේකට කඩා පනින්නත් අපි අමතක කරේ නෑ...

මට මෙව්වගෙ නම මතක නෑ. හැබැයි රහ නම් මතකයි..


අපි මහඔය ට එනකොට හවස් වෙලා. මහඔය - මඩකළපුව ප්‍රධාන පාරට අම්පාරෙන් එන පාර සම්බන්ධ වෙන හන්දිය (69 හන්දිය වගේ මට මතක) ළඟ අම්පාර රෝහලේ ලොකු පිරිසක් ඇවිල්ලා හිටියා. එතන හිටපු අය අපි එනකන් පාරේ යන එන බස් වලට එහෙම ගොඩ වෙලා ලොකු ආධාර මුදලකුත් එකතු කරගෙන තිබ්බේ. එතන ඉඳල ලොකු පෙඅරහරකින් මහඔය රෝහල වෙනකන් අපි ගියා.





අමිල සහ ඉඳුනිල් අයියා...

එදා රෑ අපි රෝහලේ. නෑ ලෙඩ වෙලා නෙමෙයි. අපිට නවාතැන් ලැස්ති කරලා තිබ්බේ රෝහලේ උඩ තට්ටුවක. ඒ වෙනකොටත් ටිකක් කළුවර වැටිලා තිබ්බේ. අපි ඊට පස්සේ ඒ කිට්ටුව තියෙන උණුවතුර උල්පත් වලට ගිහින් මහන්සිය යන්න නාගත්තා. කලීඩ් ව නාවන එක තමයි අමාරුම වැඩේ. උණු වතුර ඇඟට දානකොට කලීඩ් දුවනවා. බයේ බෑ එතන ලිස්සල වැටේවිද කියල. වාහනයක් හෝදනවා වගේ ඈත ඉඳන් වතුර බාල්දි කලීඩ් ගේ ඇඟට වීසි කරපු එක තමයි අපි කරේ...

රසම රස කෑම වේලකට පස්සේ මහඔය රෝහලේ අපි වෙනුවෙන් පොඩි පැදුරු සාජ්ජයක් ලැස්ති කරලා තිබ්බ. ඒකත් නියමෙට තිබුනා. ඔන්න ඔහොම තමයි තුන්වෙනි දවස් නිමා උනේ.

මතු සම්බන්ධයි...

Sunday, November 27, 2016

Walk for Sight මතක සටහන් (5 වෙනි කොටස)

5. දෙනෙතට එළියක් - දයාබරත්වයේ පාගමන : දෙවෙනි දවස - ආගන්තුක ඉසව් මැද්දෙන්...

 පෙර කොටස් :
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-1.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-2.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-3.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-4.html


ගමනේ දෙවෙනි දවසට හැමෝම සූදානම්. උදේ පාන්දරින් නැගිටලා කූඩාරම් අකුලලා, කලින් දවසේ හෝදපු ඇඳුම් සහ අනිත් ආම්පන්න ඔක්කොම ලොරියට පැටෙව්වා. ආ කියන්න අමතක උනා නේ, ගමන පුරාවට අපිට ඕනේ කරන බඩුබාහිරාදිය ගෙනියන්න ක්‍රමයක් ඕනේ වෙන නිසා රාජපක්ෂ අයියගේ ලොරිය අපිට ලබා දුන්නේ කලීඩ් රැකියාව කරන Avery Dannison ආයතනයේ මැදිහත්වීමෙන්. ඊට අමතරව ගමනේ හැම දවසකටම කලීඩ් වෙනුවෙන් ඒ ආයතනයේ සේවය කරන කාව හරි එවන්නත් එයාල අමතක කරේ නෑ.

බඩු බාහිරාදිය ලොරියට පටවලා අපි අපේ ගමන් මලු (backpack) එහෙම දාගෙන පිටත් වෙන්න සූදානම්. අපේ ගමන්මළු වල ගෙනියන්නේ එදා දවසට ඕනේ කරන ක්ෂණික කෑම, වතුර, බෙහෙත් වගේ දේවල් තමයි. මුළු ගමනටම ඇති වෙන්න බිස්කට් සහ ශක්තිජනක ක්ෂණික ආහාර පැකට් මන්චි ආයතනයෙන් අපිට ලබා දුන්නා.

අපි හැමෝවම මේ වැඩේට පටලවපු නේරා එදා උදෙන්ම ආපහු කොළඹ එන්න කියල පිටත් වුනා. ඉතුරු කට්ටිය යාන්තම් බිම් කළුවර මැකීගෙන යනකොට ගමන පිටත් වුනේ අපි හැමෝම අපේ නඩේගුරා විදියට තෝරගත්තු මහීල් අයියගේ උපදෙස් මාලාවකුත් අහගත්තට පස්සෙයි.


දැන් එතකොට නඩේ මෙහෙමයි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් පාලිත මහීපාල මහත්තයා, Vision 2020 ජාතික සම්බන්ධීකාරක අසේල අබේධීර දොස්තර මහත්තයා, මහීල් අයියා, චාමර අයියා, කලීඩ්, චලන මල්ලි, මම, අමිල, කැමී, OLS, නිසංසලා (Vision 2020 කණ්ඩායමේ), සායි (Vision 2020 කණ්ඩායමේ), ඉඳුනිල් අයියා, ප්‍රසන්න අයියා (Vision 2020 කණ්ඩායමේ), කලීඩ් ගේ සේවාස්තාන්යෙන් ආපු මල්ලිලා දෙන්න (නම් මතක නෑ). සම්පූර්ණ වැඩ වලට වාහන තුනයි. රාජපක්ෂ අයියගේ ලොරිය, Vision 2020 වාහනය සහ මහීල් අයියගේ කාර් එක. ඉඳුනිල් අයියා තමයි දවස් 17 ම කාර් එකේ රාජකාරිය බාරගෙන අපේ නිල සැපයුම්කරු වුනේ. මීට කලින් එයා දෙවුන්දර තුඩුවේ ඉඳල පේදුරු තුඩුවට පයින් ගියපු නිසා තවත් නම් ඇවිදින්න බෑ කිව්වා...

කොහොම හරි වටින් ගොඩින් එලිය වැටෙනකොට අපි මහා පාරේ. මන්මුනේ පාලමෙන් කළපුව හරහා ගිහින් කොක්අඩිචෝලේ දිහාවට අපි ගියා. අපිට එහෙම පිටින්ම ආගන්තුක පරිසරයක්. හරිම සුන්දරයි. ටික දුරක් යනකොට ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා කණ්ඩායම් අපිත් එක්ක එකතු වුනා. ඒ අයට නිල පෙරහැරේ එන්න ඉඩ ඇරලා අපි කට්ටිය තරමක් ඉස්සර වුණා. 
ඔන්න අපි පිටත් වුනා

මන්මුනේ පාලම අසල

කලපුවේ සුන්දර දසුනක්


දම් පාටින් ලා සඳ බැස යනවා. 



කොක්අඩිචෝලේ නගරයට අපි එනකොට එතන හමුදා කඳවුරේ පිරිසක් අපි එනකන් බලාගෙන ඉන්නවා. ඒ අයගේ තේ පැන් සංග්‍රහයක් එහෙම රසවිඳලා අපි තව ටිකක් ඉදිරියට ගිහන් නගර සීමාව පහු කරලා නැවතුනා. සුව සේවා කණ්ඩායම් සහ හමුදාව නගරයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වලා, උදේ ආහාරය අරගෙන එනකන් අපි වෙල්යායක් අද්දර පොඩි කඩ පිලකට වෙලා අපේ උදේ කෑම ගත්තේ බොහොම විනෝදෙන්. ඒ ගෙදර බොහොම දුප්පත් ගෙදරක්. රසම රස අඹ ගෙඩි වගයක් කපලා අපිට දුන්න එයාල අපේ ගමන ගැන විස්තර ඇහුවා. ද්‍රවිඩ භාෂාවෙන් විස්තරේ කියන්න කැමී හිටපු නිසා හොඳට ගියා.

චාමර අයියගේ ජාත්‍යන්තරයට ගියපු පින්තූරයක්...

චලන මල්ලි බොමුද දොඩම් වීදුරුවක්..?




චලන, කලීඩ්, චාමර අයියා

අකුරට යන්නට පෙර...

චලන සහ කලීඩ්, කොක්අඩිචෝලේ හමුදා කඳවුර ළඟ

කලීඩ් සහ කැමී... නොබිඳුන සහෝදරත්වයක ආරම්භය

අපේ විස්තරේ අහපු ඒ ගෙදර අය එයාලගේ පුතාගේ අතින් කැටේට රුපියල් 100ක් දැම්මෙව්වා. එයාලගේ ජීවන තත්වයේ හැටියට රුපියල් 100ක් කියන්නේ ගොඩක් ලොකු ගාණක්. ඒ තමයි මේ ගමන පුරාවට අපි අත්විඳපු අපේ රටේ මිනිස්සුන්ගේ හර්දයාංගම බවේ පළමු අත්දැකීම. 
මේ ඉන්නේ ඒ පොඩ්ඩා

පොඩ්ඩා...

එතනින් එහාට කුඹුරු යායවල් මැද්දෙන් වැඩි සෙනගක් නැති ප්‍රදේශයක් හරහා තමයි අපි ගියේ. අහස කළු කරලා තිබ්බ නිසා කලින් දවසේ වගේ ගමන අමාරු උනේ නෑ. ඔහොම අවිල්ල් පොඩි ගම්මානයකට අපි ආව. එතන ඉඳල අපි යන්න ඉන්නේ අම්පාර - මහඔය පාරේ පුළුකුනාව කියන තැනට සම්බන්ධ වෙන අතුරු මාර්ගෙක. සෞඛ්‍ය සේවා කණ්ඩායම් අපිට සමුදීලා ආපහු ගියා. අපි යන පාර වාහන යන්න බැරි කොටස් තියන් නිසා වාහන 3යි හමුදා ගිලන් රථයයි ආපහු හරවාගෙන ගියේ අපි නැවත ප්‍රධාන පාරට සම්බන්ධ වෙන තැනදී අපිව හමුවෙන්න බලාගෙන. 

පොඩි විවේකයක්...







එතන ඉඳල අපි කට්ටිය විතරයි. කිසි කලබලයක් නැති ගම්මාන මැද්දෙන් කුඹුරු යායවල් දිගේ වැටුන ගුරු පාරක් දිගේ නිදහසේ ඇවිදගෙන ගියා. මගදී දැකපු පුංචි ඉස්කෝලෙක පොඩි උන් ටිකක් එක්කත් කතා බහ කරලා අපි ගමන ගියා. ඒ පාරවල් වල අතරමං වුනොත් කියල අපිට මග පෙන්වන්න හමුදාවේ දෙන්නෙක් මෝටර් බයික් එකකින් ඇවිල්ල හිටියා. 









ගුරු පාර ඉවර වෙලා වැවක් උඩින් වැටුන අඩි පාරක් දිගේ ගිහින් අපි පුළුකුනාව රජමහා විහාරය ලඟට ඇවිල්ල දවල්ට කන්න ලැස්ති වෙනකොට හවස 3 ත් පහු වෙලා. පුළුකුනාව රජමහා විහාරය කියන්නේ බලන්න දේවල් ගොඩක් තියෙන තැනක්. විශාලම ආසනඝරය ඇතුළුව තව නටඹුන් ගොඩක් තියෙන පුරාවිද්‍යා ස්ථානයක්. ඒත් වෙලාවත් එක්ක අපිට තව ටික දුරක් යන්න තිබ්බ නිසා අපි දිගටම ගමනේ යෙදෙන්න තීරණය කරා.
දිවා ආහාරය

මෙතන ඉඳල පාරක් අයිනේ වාඩි වෙලා කෑම එක ලිහාගෙන කන එක අපිට සාමාන්‍ය දෙයක් වුනා.



ඉදිරියටම

කලීඩ් සහ චාමර අයියා. තවත් නොබිඳුන සහෝදරත්වයක්



අම්පාර - මහඔය මහා මාර්ගයේ පුළුකුනාව හන්දිය තමයි නිල වශයෙන් දෙවෙනි දවසේ අපේ ගමනාන්තය. ඒ උනාට අපිට නවාතැන් ගන්න පිළියෙළ කරපු පන්සල තියෙන්නේ එතනින් තව කිලෝමීටර් 3ක් විතර අම්පාර පැත්තට වෙන්න (අපි ඊළඟ දවසේ යන දිශාවට විරුද්ධ පැත්තේ). එදා දවසේ අපේ නවාතැන්පොළ වුනේ ඒ පන්සලේ බණ මඩුව. බණ මඩුව ඇතුලේ කූඩාරම් ටික අටවල අපි නාගන්න කියල ගියේ ළඟ පාත වැවකට. බණ මඩුව ඇතුලේ වුනත් කූඩාරම් ගහන්න හේතුව එතකොට මැසි - මදුරු හෝ වෙන සතුන්ගෙන් කරදරයක් නැතුව නිදාගන්න පුළුවන් නිසයි.
කට්ටියට මෙතනින් එන්න නම් කිසිම උවමනාවක් තිබ්බේ නෑ

අමිලගේ තට්ටේ සබන් ගා සේදීම. අතහිත චලන මල්ලීගෙන්


රාත්‍රී නවාතැන


ඔන්න ඔහොමයි අපේ ගමනේ දෙවෙනි දවස 2015 නොවැම්බර් 27 වෙනිදා නිමා වුනේ...


මතු සම්බන්ධයි...