බලාපොරොත්තු
නොවූ නිමේශයක ඈ අප නෙත්
ඉදිරියේ ප්‍රාදූර්භූත වූවාය. ඈ අතිශය ශෝභමාන
ය. දුහුලු සළුපිළියෙන් සැරසී, හිස මල් ගවසා,
අභරණින් අලංකෘතව ඈ පූජනීය වෘක්ෂයේ
මලින් පිරුණ අතුපතර කෙළිදෙලෙන් ඔබ මොබ සැරිසරමින්
උන්නාය. ඈ පෙනුමින් කෙළිලොල්ය.
ඉරියව්වෙන් ආකාශචාරීය. සුන්දර ලියවැල් ගොමු හා සුපිපි
පුෂ්පයන් අතර ඇය දක්ෂ
ලෙසින් සැඟවී හුන්නාය. මෙලෙසින් සියවස් ගණනාවක් මෙතැනට ආගිය උන් දෙස
ඈ බලා ඉන්නට ඇත.
නමුත් ඇයව දකින්නට ඇත්තේ
ඉතාම සුළු පිරිසක් බවට
සැක නැත. ඇය, නීලගිරි
හෙලේ පුංචි දේවතාවිය වන්නාය...
මේ ඔක්කොම පටන් ගත්තෙ කොවිඩ්
වසංගතය ඇවිත් මුළු ලෝකෙම අගුළු
වැටුන දවස් වල. රට
පුරා කරක් ගහපු අපිව
අතපය ගැට ගහල අගුළු
දාල වගේ දැනුනෙ. කලින්
ඇවිදපු තැන් වල පින්තූර
ආයෙ ආයෙ බලල හූල්ලනව
ඇරෙන්න වෙන කරන්න දෙයක්
තිබුනෙ නෑ. හැබැයි ඒකෙනුත්
එක හොඳ දෙයක් වුනේ
නෑ කියන්න බෑ. කලින්ට වඩා
අපිට පොත පත ඇසුරු
කරන්න වෙලාව ලැබුනා. ඉතිහාසය, පුරාවිද්‍යාව ගැන කලින් කියවපු
ඒව නැවත් කියවන්නත්, අලුතෙන් කියවන්නත් පොඩි විවේකයක් ලැබුනා
මේ දවස් වල තමයි
පුරාතන චිත්‍ර ගැන කලින්ට වඩා
කුතුහලයක් අපිට ඇති වුනේ.
පැරණි චිත්‍ර තියෙන විහාර, ලෙන්, ගුහා වලට අපි
ගිහින් තිබුණට අපිට මග ඇරුන
දේවල් ඒවගෙ තිබිල කියල
අපිට තේරුණා. අපි චිත්‍ර බලනව
කියල කරල තියෙන්නෙ උඩින්
පල්ලෙන් බලන එක විතරයි
කියල අපිට තේරුණේ අපිම
ගත්තු පින්තූර ආයෙ අරගෙන විමසිල්ලෙන්
බලනකොට. එදා ඉඳල අපි
සැලසුම් කරේ ආපහු යන්න
පුලුවන් වුන ගමන් ආයෙ
චිත්‍ර බලන්න යමු කියල.
කොහොමෙන්
කොහොමෙන් හරි 2020 අවුරුද්දෙ අගෝස්තු මාසෙ අන්තිම අපි
ගමන පිටත් වුනා. මම, නෙරා, චන්දික
සහ රුවන්. අපි කෙලින්ම ගියේ
පානම. මේ ගමනෙදි හිතාගෙනම
ගියේ වෙනද වගේ හැම
තැනම දුවන්නෙ නැතුව යන තැන් වල
පුලුවන් තරම් කාලය ගත
කරල වෙනදට වඩා හොඳින් 'දකින්න'
කියල. හිතුව වගේම පානම, ශාස්ත්‍රවෙල
පුරාවිද්‍යා ක්ෂේත්‍ර කීපෙක ඇවිදලා නටඹුන්, පුරාණ චිත්‍ර හිතේ හැටියට බලාගන්න
පුලුවන් වුනා.
ඊට පස්සෙ තමයි අපි අපේ
ගමනේ ප්‍රධානම ඉලක්කයට එන්නෙ. ඒ අපේ තුන්වෙනි
දවස. අපි කලින් දවසෙ
රෑ වෙද්දි ලාහුගලට ආවෙ ඒ වෙනුවෙන්.
එදා රෑ කොළඹින් පිටත්
වුන අරුණ ඇතුළු කණ්ඩායම
එළි වෙද්දි ලාහුගල. අරුණ ශාන්ත කියන්නෙ
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා උපාධිධාරියෙක්. අරුණ ලංකාවෙ පුරාණ
සිතුවම් ගැන පොත් කීපයක්ම
ලියලත් තියෙනව. ඒ නිසාමයි අපි
මේ ගමන යනව කිව්වම
අරුණත් එක පයින් කැමති
වුනේ
අපි
ගියේ නීලගිරි හෙලේ චිත්‍ර බලන්න.
මේකට නීලගිරි සෑය පුරාවිද්‍යා සංරක්ෂණ
වැඩබිමේ ඉඳල ලාහුගල මහ
කැලේ ඇතුලට යන්න ඕනෙ. ඒ
නිසා අපි කල් ඇතුවම
නැගෙනහිර පුරාවිද්‍යා කාර්යාලෙනුයි ලාහුගල වනජීවී කාර්යාලෙනුයි අවසර අරගෙන තිබුනේ.
ඒ කාර්යාල දෙකෙන්ම අපිට ලොකු සහයෝගයක්
ලැබුනා. අපිට මග පෙන්වන්න
නීලගිරි සෑය පුරාවිද්‍යා වැඩබිමෙන්
කිහිපදෙනෙක් ලැබුනා වගේම, ලාහුගල වනජීවී කාර්යාලයේ නිලධාරියෙකුත් අපි එක්ක ආවා
මග දිගට තිබ්බ පුරාවිද්‍යාත්මක
නටඹුන් බල බල, ඒවා
ගැන අරුණගෙන් විස්තර අහන ගමන් අපි
කොහොම හරි දුශ්කර ගමනකින්
පස්සෙ චිත්‍ර තියෙන තැනට ආවා. ඒ
පුදබිමට දීර්ඝ ඉතිහාසයක් තියෙන බවටත්, අතීතයේ එක් කාලයක බොහොම
විභූතිමත්ව තිබුණ තැනක් කියන එකත් නම්
බොහොම පැහැදිළියි. කොහොම හරි එතනට ආවට
පස්සෙ අපි අපේ අළුතෙන්
ඇති කරගත්තු පුරුද්දෙ හැටියට වෙනදාට වඩා බොහොම විමසිල්ලෙන්
චිත්‍ර බලන්න ගත්තා. නිකන්ම චිත්‍ර දිහා බලල යන
එකෙයි, එහෙම උවමනාවෙන් බලන
එකෙයි වෙනස අපිට හොඳට
තේරුණ තැනක් තමයි නීලගිරි හෙල.
කාලයේ ඇවෑමෙන් මැකිල, විනාශ වෙලා ගිය චිත්‍ර
අතරෙ එක පාරට නොපෙනුන
සියුම් රේඛා, හැඩතල, විස්තර අපිට පෙනෙන්න ගත්තා.
අපි ඒ ගැන එතනම
ඉඳගෙන සාකච්ඡා කරා. අපිට මග
පෙන්නන්න ආපු අයට නම්
මුලදි මේක තරමක් පිස්සුවක්
වගේ පේන්න ඇති. වෙනද එන
අය වගේ ඇවිල්ල බලල
පින්තූර ටිකක් ගහගෙන සෙල්ෆියක් ගහල යන්නෙ නැතුව
චිත්‍ර වල නහය ගෑවෙන
තරමට ලං වෙලා වෙලාවක
ඔලුව, වෙලාවක ඇඟම එහෙට මෙහෙට
අඹර අඹර මොනවද මේ
තරම් බලන්නෙ කියන්න වගේ එයාල අපි
දිහා බලාගෙන හිටියෙ.
හැබැයි
අපි එහෙම බලනකොට පෙනුන
සමහර දේවල් එයාලවත් මීට කලින් දැකල
නෑ කියන එක තෙරුණාට
පස්සෙ එයාලටත් අපේ පිස්සුව බෝ
වුනා. ඒකෙ රහ එයාලටත්
දැනෙන්න ගත්තා. ඔහොම ඉන්නකොට තමයි
එක පාරටම අර දෙවඟන ලියවැල්
ගොමු අතරින් එබිකම් කරේ.
ඒ සිතුවම ප්‍රමාණයෙන් අඟල් තුනක්වත් නැතුව
ඇති. පුන්චිම පුන්චි රූපයක්. මිලිමීටරයක විතර ඉතා සියුම්
රේඛා වලින් බොහොම පැහැදිළිව, සියුම්ව සහ මනා නිමාවකින්
යුතුව ඇය ව අඳින්න
නිර්මාණශිල්පියා සමත් වෙලා තිබුනා.
ඒ තරම් කුඩා රූපයක
ඒ තරම් සියුම් විදියට
විස්තර සටහන් කරේ කොහොමද කියන
එක ඇත්තටම හිතාගන්න බෑ. ඇය එක
කකුලක් නමාගෙන අනිත් කකුල දිග හැරගෙන
එක තැනකින් තව තැනකට පනිනවා
හෝ පාවී යනවා වගේ
ඉරියව්වකින් සිතුවම් කරල තියෙන්නෙ. ඇයගේ
අඟපසඟ, වස්ත්‍ර, ආභරණ බොහොම පැහැදිලිව
සියුම්ව සටහන් කරල තිබුනා. එම
ඉරියව්ව සහ ස්වරූපය අනුව
අරුණගේ පැහැදිළි කිරීම වුනේ ඇය ආකාශචාරී
දෙවඟනක් කියන එක.
මේ හොයාගැනීමෙන් අපි පුදුමයට වගේම
අමන්දානන්දයට පත් වුනා කිව්වොත්
වඩා හරි. ඒක අපි
කොහොමටවත් බලාපොරොත්තු නොවුන දෙයක්. මේ චිත්‍ර ලංකාවේ
පුරාණ චිත්‍ර වල සම්භාව්‍ය ශෛලිය
සහ අපර සම්භාව්‍ය ශෛලිය
කියන ශෛලීන් දෙකටම අයත් ලක්ෂණ මිශ්‍රව පෙන්නුම් කරන ස්වභාවයක්
තමයි පෙනෙන්න තියෙන්නෙ. ඒ නිසා බොහෝ
විට මෙම යුග දෙක
අතර සංක්‍රාන්ති යුගයක් නියෝජනය කරනවා වෙන්න පුළුවන් කියල අරුණ අනුමාන
කරනවා. ඒ අනුව බොහෝ
විට ක්‍රි.ව. 9 - 11 සියවස්වලට අයත් චිත්‍ර වෙන්න
පුළුවන් කියල අරුණ හිතන්නෙ.
නීලගිරි
හෙලේ චිත්‍ර ගැන අපිට කියවන්න
ලැබුන කිසිම විස්තරයක මෙම දෙවඟන රූපය
ගැන හෝ අපි නිරීක්ෂණය
කරපු තව සමහර දේවල්
ගැන සටහනක් තිබුනේ නෑ. ආපහු ආවට
පස්සෙවත් අපිට නීලගිරි චිත්‍ර
වල මේ ලක්ෂණ ගැන
විස්තරාත්මකව ලියවුන මූලාශ්‍රයක් ලැබුනේ නෑ. ඒ නිසා
අපි තීරණය කරා අරුණ මේ
අධ්‍යයනය ගැන ලියල පළ
කරනකන් මේ විස්තර එලියට
නොදා ඉන්න. මොකද අනුන්ගෙ දරුවොන්ට
උප්පැන්න දෙන්න ඉදිරිපත් වෙන අය මේ
කාලෙ බොහොමයි නෙ.
දැන්
අරුණ නීලගිරි හෙලේ සිතුවම් ගැන
පොතක් ලියල ඉවරයි. තව
සති දෙක තුනකින් පොත
මුද්‍රණයෙන් එළියට ඒවි. එතකොට
මේ ගැන දැනගන්න කැමති
අයට මේ අධ්‍යයනය ගැන
විස්තර කියවන්න පුළුවන්